33 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නැවත මෙරටට ඒමට මෙය සුදුසු කාලය නොවෙයි – ජනාධිපති

Must read

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු වේලාව නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “වෝල් ස්ට්‍රීට් ජර්නල්” සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

ඔහු නැවත මෙරටට පැමිණියහොත් දේශපාලන ගැටුම් වර්ධනය වියහැකි බව ඔහු පවසා තිබේ.

“මම හිතන්නේ මේක ඔහුට පැමිණීමට සුදුසු වෙලාව නොවෙයි. ඔහු නැවත නුදුරේදී පැමිණෙයි කියලා මම දැනුවත් නැහැ,” වික්‍රමසිංහ මහතා පැවසීය.

දැඩි ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට යම් සහනයක් ලබාගැනීම සඳහා මේ වනවිට මෙරට බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වයි.

පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා බලධාරීන් තීරණය කළේ ගෙවීමට ඇති බාහිර ණය සඳහා වූ වාරික සහ පොලී ගෙවීම තාවකාලිකව නවතා දැමීමට ය.

එහි වටිනාකම ඩොලර් බිලියන 12ක් පමණ වූ අතර 2025 වසර නිමවන විට ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 21ක් ලෙස සඳහන් වෙයි.

“වෝල් ස්ට්‍රීට් ජර්නල්” වාර්තාවෙහි සඳහන් වන්නේ මෙම මස අග වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට ළඟා වියහැකි බවට ජනාධිපති වික්‍රමසිංහ අනුමාන කරන බවය.

ඊට අමතරව තවත් ඩොලර් බිලියන 3කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සොයාගත යුතු බව ඔහු පවසයි. එමගින් ලබන වසරේ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම ඉන්ධන, ආහාර සහ පොහොර ආනයනය පහසු වෙතැයි ඔහු පැවසීය.

More articles

Latest article