33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

පාර්ලිමේන්තුවේ නව සැසිය නව ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද

Must read

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමද සිදු වේ.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (02) පෙරවරුවේ පැවැත්විණි. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය චාම් ලෙස පවත්වන ලෙසට ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇති බැවින් ආචාර වෙඩිමුර සහ රථ පෙළපාළි නොපැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ වෙනුවට ජනාධිපතිවරයා පිළිගැනීමට පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමීම සිදු කෙරේ. මෙහිදී ජනාධිපතිවරයාගේ ධජය එසවීමක් සිදු නොවන අතර ජාතික කොඩිය පමණක් එසවීම සිදු කෙරේ.

අද (03) පෙරවරු 09.30ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදු වන අතර, එහිදී පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සිදු වීමට නියමිතය.

More articles

Latest article