30 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

සර්වපාක්ෂික ආණ්ඩුව ගැන ඉදිරිපත් වූ යෝජනා අද සියලු පක්ෂ වලට

Must read

සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමඟ දින ගණනාවක් පුරා කළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සහභාගීවූ සියලු පක්ෂවලට අද (8) ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11 නායකයන් සහ 43 වැනි සේනාංකය සමඟ පසුගිය දා (5) ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවලදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ පමණක් ඉදිරියේ දී සාකච්ඡා කිරීමට ඉතිරිව ඇති බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතා අපේක්ෂා වෙනුවෙන් දේශපාලන මතවාද පසෙකලා සර්ව පාක්ෂික ආණ්ඩුකරණයට සැම දෙනා දක්වන උද්යෝගය පැසසීමට ද ලක් කළේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය සමඟ 43 වැනි සේනාංකය සුබවාදීව කටයුතු කරන බවත් රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත් කිරීමේ දී දේශපාලන පක්ෂ ක්‍රමය අමතක කොට වෘත්තිකයන් පත්කිරීමේ අවශ්‍යතාව දැඩිව පවතින බවත් 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කියා සිටියේය.

දේශපාලන ප්‍රතිසංස්කරණවලින් පමණක් රටක් ගොඩනැඟිය නොහැකි බව කියා සිටි චම්පික රණවක මහතා වෘත්තීය නිපුණතාව සහිත පුද්ගලයන්ගේ දායකත්වය ඊට ප්‍රධාන සාධකයක් කරගත යුතු බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අනාගත ලෝකය දෙස බලා විෂය නිර්දේශ සැකසිය යුතු බවත් ඒ මහතා පැවසීය.

රට ගොඩනගන පොදු වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් පියවරෙන් පියවර ඉදිරියට යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

සියලු දේශපාලන පක්ෂවල අනන්‍යතාවය සර්ව පාක්ෂික ආණ්ඩුකරණ සාකච්ඡාවේදී ආරක්ෂා විය යුතු බව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, පදනම් ලේඛනයක් සහිතව සාකච්ඡා ඉදිරියට යාමෙන් සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ අපේක්ෂා සාර්ථක කරගැනීමට ඉවහල් කරගත හැකි බව කීවේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ද සිය කණ්ඩායම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පොදු වැඩපිළිවෙළක් සාකච්ඡා කළ බවත් දේශපාලන පක්ෂ ප්‍රතිපත්තිවලට එකඟ විය නොහැකි වූවත් පොදු සම්මුතියකට එකඟ වැඩපිළිවෙළක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, අසංග නවරත්න, ප්‍රේමනාත් සී. දොළවත්ත, කරූ පරණවිතාන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

More articles

Latest article