30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

හමුදාවක පැවැත්මට විනය, පුහුණුව මෙන්ම දැනුමත් අවශ්‍යයි – ජනපති

Must read

හමුදාවක පැවැත්මට නායකත්වය මෙන්ම විනය, පුහුණුව සහ දැනුමද අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අනාගතයේදී භූමියේ, ගුවනේ, මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේද යුද්ධ සිදු විය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් අපේ විරුවන් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රීමත්‌ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජනාධිපති සහ විශ්වවිද්‍යාල වර්ණ ප්‍රදානයට ඊයේ (25) සහභාගි වෙමිනි.

හමුදාව පවතින්නේ නායකත්වය මත බවත් ඒසේ වුවත් විනයක් නැතිව හමුදාවක් පවත්වා ගෙන යා නොහැකි බවත් කී ජනාධිපතිවරයා විනය පමණක් නොව හමුදාවේ පැවැත්මට පුහුණුව අවශ්‍ය බවත් පෙන්වා දුන්නේය. විනය සහ පුහුණුව පමණක් තිබූ පමණින් හමුදාවක් සාර්ථක නොවන බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුදාවක පැවැත්මට දැනුම අවශ්‍ය බවත් අවධාරණය කළේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් එම විනය, පුහුණුව සහ දැනුම දෙන බවත් ආරක්ෂක විශ්වවිද්‍යාලයක් ලෙස එය විශාල කීර්තියක් ලබා ඇති බවත් කී ජනාධිපතිවරයා රට වෙනුවෙන් සටන් කළ යුද විරුවන් මේ විශ්වවිද්‍යාලය තුළින් බිහි වී තිබෙන බවත් සඳහන් කළේය. මෙය ආරම්භ කළ ශ්‍රීමත් ජෝන් කොතලාවල සහ ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහත්වරුන්ට ප්‍රණාමය හිමි විය යුතු බවත් ජනාධිපතිවරයා කීය.

අනාගතයේදී අප දකින්නේ අද අප දකින යුද්ධය නොවන බවත් අලුත් තාක්ෂණය සහ දැනුම සමඟ යුද්ධය ගොඩබිම, මුහුද සහ ගුවනට පමණක් සීමා නොවන බවත් ඒ සඳහා අභ්‍යවකාශය දක්වා යන සයිබර් තාක්ෂණයද අවශ්‍ය වන බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් කීය.

මේ අවස්ථාවට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත්, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති ඒයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙරාඩ් හෙක්ටර් ද සිල්වා, උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් සහ ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ඒක්ව සිටියහ.

More articles

Latest article