30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

පාකිස්තාන අගමැති සහ ජනපති රනිල් අතර දුරකථන සාකච්ඡාවක්

Must read

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පාකිස්තාන අගමැති මුහම්මද් ෂෙබාස් ෂරීෆ් මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පකිස්තානයේ පසුගියදා ඇති වූ ගංවතුර හේතුවෙන් ඇති වූ පුලුල් විනාශය පිළිබඳව සංවේගය පළ කළේය.

එම සාකච්ඡාව ඊයේ(03) සිදු වූ බව කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ගංවතුර හේතුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව අගමැති ෂරීෆ් වෙත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ශෝකය පළ කළේය.

අනපේක්ෂිත ස්වභාවික විපතට අධිෂ්ඨානශීලීව මුහුණ දුන් පකිස්ථාන රජය සහ ජනතාව සමඟ සැම විටම සහයෝගයෙන් කටයුතු කරන බව වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම කාලයේ දී දැක්වූ අනුකම්පාව සහ සහයෝගය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අගමැති ෂෙබාස් ෂරීෆ්, ජනාධිපති වික්‍රමසිංහ මහතාට ස්තූතිය පළ කළ අතර ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පෙර නොවූ විරූ වර්ෂාපතනයෙන් පාකිස්තානය පුරා සිදු වූ මහා පරිමාණ විනාශය පිළිබඳව ඔහු දැනුවත් කළේය.

ගංවතුර හේතුවෙන් මිනිස් ජීවිත, ජීවනෝපාය, පශු සම්පත්, භෝග, දේපළ සහ තීරණාත්මක යටිතල පහසුකම් විශාල වශයෙන් විනාශ වී ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

පකිස්ථානයේ සහ විදේශයන්හි සිටින ජනතාවට ගංවතුර සහන සේවා කටයුතු සඳහා පරිත්‍යාග කළ හැකි සහන අරමුදලක් පිහිටුවීම ඇතුළු රජයේ මනා සම්බන්ධීකරණයෙන් යුත් මානුෂීය ප්‍රතිචාරය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති වික්‍රමසිංහ මහතා දැනුවත් කරන ලදි. රටෙන් තුනෙන් එකක් ජලයෙන් යටවී ඇති ගංවතුරේ පරිමාණය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව තුළ වැඩි දියුණු කළ දැනුවත් කිරීමේ අවශ්‍යතාවය ඔහු නැවත අවධාරණය කළේය.

එසේම ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජනාධිපති වික්‍රමසිංහ මහතා වෙත පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් පිරිනැමීය.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහෝදර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නායකයින් දෙදෙනා කැමැත්ත මෙහිදී පළ කළහ.

More articles

Latest article