31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

සමස්ත සෞඛ්‍ය අංශයටම ප්‍රතිපත්තිමය වෙනසක් ඕනෑ – ජනපති

Must read

සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර ඊයේ (04) පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව එහිදී ජනාධිපතිවරයාට බාර දුන්නේය.

ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව පත්ව ඇති අසීරුතාව සමනය කිරීමට කඩිනම් ක්‍රමවේදයක් අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඖෂධ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා අනෙකුත් අවශ්‍යතා පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන සමඟ සාකච්ඡා කරන බවද පැවසීය.

කොළඹ ජාතික රෝහල, කලුබෝවිල රෝහල සහ ජයවර්ධනපුර රෝහලේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඖෂධ මිල ඉහළ යාම අද රටේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති අතර අත්‍යවශ්‍ය ඖෂධ සඳහා යම් සහනයක් දීමට රජයේ ප්‍රතිපත්තීමය තිරණයක අවශ්‍යතාවත්, ඖෂධ මිල ඉහළ යෑම හේතුවෙන් රෝගීන් ඖෂධ ලබා ගැනීමෙන් වැළකීම හෝ රජයේ රෝහල් සඳහා පැමිණීම වැඩි වීමෙන් මතුවිය හැකි ගැටලුකාරී තත්ත්වය පිළිබඳවත් මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආදි ආයතන අතර සම්බන්ධීකරණයේදී පවතින අඩු පාඩු ත්‍රිපුද්ගල කමිටු වාර්තාව මඟින් හඳුනාගෙන තිබේ. එබැවින් සෞඛ්‍යය අමාත්‍යාංශය මඟින් සම්බන්ධීකරණ කමිටුවක් පත් කර, මාසික ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමටද එම වාර්තාවෙන් යෝජනා කර ඇත.

පසුගිය අවුරුදු කිහිපයේදී විගණකාධිපති වාර්තා නිර්දේශ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග අවම වීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා පසුගිය අවුරුදු පහ ඇතුළත ඉදිරිපත් කළ විගණකාධිපති නිර්දේශ පිළිබඳ අධ්‍යයනයට තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ද කමිටු වාර්තාව මඟින් යෝජනා කර තිබේ.

ඖෂධ සඳහා රජය දරන මුදලින් 40%කට ආසන්න ප්‍රමාණයක් වෙන් කෙරෙන්නේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සපයා ගැනීමටයි. පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධවල මෙන්ම ඉන්සියුලින් හිඟයක් ද පවතින අතර එම ගැටලුව කඩිනමින් නිරාකරණය කර ගැනීමට පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

වෛද්‍යවරුන් සඳහා අමතර රාජකාරී දීමනා ගෙවීම, වෛද්‍යවරුන් සඳහා නිල ප්‍රවාහන පහසුකම් සහ එම දීමනා සංශෝධනය, විදේශ නිවාඩු සම්බන්ධයෙන් වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සම්න්ධව හා රාජ්‍ය සේවයේ වෘත්තිකයන් සඳහා බදු සහන මත ඉලෙක්ට්‍රිකල් වාහන ගෙන්වීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමා වෙත සිය යෝජනා ඉදිරිපත් කළහ.

වෛද්‍ය සංචාරක ව්‍යාපාරය මෙරටට හඳුන්වාදීම සහ සංවර්ධනය කිරීම පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

රජරට, පේරාදෙණිය, කරාපිටිය ආදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත සියලු විශ්වවිද්‍යාලවල ශ්‍රේණි උසස් කිරීම සඳහා වෘත්තීය සංවර්ධන වැඩපිළිවෙළක් හඳුන්වාදීමේ අවශ්‍යතාව පවතින බවත්, විශ්වවිද්‍යාල මඟින් එවැනි අධ්‍යයන පාඨමාලා පිරිනැමූව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා ව්‍යවස්ථාවෙන් එය අනුමත කර නොමැති බැවින් ඒ සඳහා රජය ගත යුතු ප්‍රතිපත්තිමය තින්දු තීරණ සහ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවේ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳ ද අවධානයට ලක් විය.

විදේශයන්හි අධ්‍යාපනය ලබන සිසුන්ට විදේශ විනිමය යැවීමේදී මතුව ඇති දුෂ්කරතාව පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරුණු පෙන්වා දුන් අතර එහිදී ජනාධිතිවරයා අවධාරණය කළේ මෙරට උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති විදේශ විනිමය ඉපැයීමට හැකි අයුරින් වෙනස් විය යුතු බවයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග, වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වයි.වී.එන්.ඩී. සිරිසේන මහතා ඇතුළු සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

More articles

Latest article