30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ඉන්දීය සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කර ශ්‍රී ලංකාව නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් කරනවා – ජනපති

Must read

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ලෝකයට විවෘත කර බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කර නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (14) පස්වරුවේ පැවති ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පළමු උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.

අප රටට හොඳ ආරක්ෂක පද්ධතියක් නැතිවුවහොත් අපේ අනාගතය විනාශ වී ලෝක තත්ත්වය සහ භූ දේශපාලනය ඉතා අයහපත් අතකට හැරෙන බවත්, එය රටකට යහපත් නොවන බවත් පැවසූ ජනාධිපතිවරයා රටක් වශයෙන් 2030දී ආරක්ෂාව සඳහා පසුබිම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවත් පැවසීය.

ඉන්දියානු සාගරය සමබර කර විවෘත කිරීමේදී තුන්වැනි පාර්ශ්වයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා අප රට භාවිත කිරීමට ඉඩ නොදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලොවට ඉන්ධන සපයන නැව් ඉන්දියානු සාගරය හරහා යෑමට ඉඩ සලස්වා ගත යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාවට ඉන්දීය සාගරය හරහා යන නැව්වලින් බාධාවක් නොවන බවට වග බලා ගත යුතු බවත් කීය. ඉන්දියානු සාගරයේ රටවල් අතර කැලඹීමක් ඇති වීම වැළැක්විය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉන්දියාවේ සහයෝගය අපට වැදගත් බැවින් ඉන්දියාව සමඟ සැමදා සහයෝගයෙන් කටයුතු කරන බව අවධාරණය කළේය. ජාතික ආරක්ෂක විද්‍යාලයේ පළමු උපාධිධාරීන් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියේ විද්‍යාර්ථයන් 31 දෙනකුට උපාධිය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය දීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස් අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙයයි. ජාතික අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපායමාර්ගික චින්තකයන් සහ නායකයන් බිහි කිරීම ජාතික ආරක්ෂක විද්‍යාතනයේ මෙහෙවර ලෙස සැලකේ.

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.බී.එස්. රත්නායක, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනා විධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංජීවනී වීරසේකර මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

More articles

Latest article