30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ජාතික සභාවේ මංගල රැස්වීමේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අනුකමිටු දෙකක්

Must read

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කරන ලද යෝජනාවකට අනුව පිහිටුවන ලද ‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ අනුකමිටු දෙකක් පිහිටුවීමට තීරණය කර ඇත.

කෙටි, මධ්‍ය සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇති කර ගැනීම සඳහා මේ අනුකමිටු දෙක පිහිටුවීමේ අරමුණ වේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පෙරවරු 10.30ට ජාතික සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කමිටු කාමර අංක දෙකේදී පැවැත්විණ. එම මංගල රැස්වීමේදී මේ අනුකමිටු දෙක පිහිටුවීමට තීරණය කර ඇත.

ජාතික සභාවේ මංගල රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් මෙන්ම ඇමැතිවරුන් වන වජිර අබේවර්ධන, ටිරාන් අලස්, රාජ්‍ය ඇමැතිවරුන් වන ජීවන් තොන්ඩමන්, සිසිර ජයකොඩි, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අසංක නවරත්න, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, අලි සබ්රි රහීම්, රෝහිත අබේගුණවර්ධන, චම්පික රණවක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාද මීට එක්විය.

එමෙන්ම ජාතික සභාවේ සාමාජිකයන් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගිය 23 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නාම ලේඛනයේ සඳහන් ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, ඒ.එල්.එම්. අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ජී.ජී. පොන්නම්බලම්, අතුරලියේ රතන හිමි, වීරසුමන වීරසිංහ මහතා ඇතුළු පිරිස ජාතික සභාවට සහභාගි නොවූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ජාතික සභාව සඳහා සහභාගි නොවන බවටද මීට පෙර සඳහන් කර තිබිණ.

More articles

Latest article