34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

රජයේ ප්‍රතිලාභ වැඩසටහනට ලියාපදිංචිය ඇරඹෙයි

Must read

පවතින ආර්ථික අර්බුදය හමුවේ අවදානම් කාණ්ඩයේ පසුවන පවුල් සහ පුද්ගලයින් සඳහා සුබසාධන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා – කිසිවෙක් බඩගින්නේ නොතබමු “තේමාව මුල් කරගෙන ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ මිලියන 3.1ක පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අදාළ ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන අද (06) සිට ආරම්භ කර තිබේ. දැනට මහජනාධාර වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, අබාධිත පුද්ගල සහ වකුගඩුරෝගී ජීවනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන පවුල්/තැනැත්තන් සහ එම සහනාධාරය අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පවුල් සහ පුද්ගලයින්ද, වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව, රජයේ සුබසාධක ප්‍රතිලාභ අපේක්ෂා කරන සියළු පිරිස් සදහා රජයේ මෙම ප්‍රතිලාභය හිමිකරදීමට මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.

මෙම සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන අදියර කිහිපයක් යටතේ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.

අයදුම්පත් කැඳවීම දැනුම්දීම ජාතික පුවත්පත් දැන්වීම් හා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවිය ඔස්සේ මේ වනවිටත් සිදුකර තිබේ. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (https://www.wbb.gov.lk/) මීට අදාළ අයදුම්පත පහසුවෙන් ඕනෑම අයෙකුට බාගතකර ගැනීමේ හැකියාව පවතියි

අයදුම්කරුවන් විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත හෝ තමා අයත් ග්‍රාමනිලධාරී වසමේ ග්‍රාම නිලධාරී/සමෘද්ධි සංවර්ධන නිලධාරී/සමාජසේවා නිලධාරී/වැඩිහිටි ප්‍රවර්ධන හිමිකම් නිලධාරී වෙත ලබාදිය යුතුය.

ඔවුන් විසින් එය සහතික කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදෙනු ඇත.

පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නම්කොට සිටින සුබසාධක තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් මෙම අයදුම්පත්වල අඩංගු තොරතුරු දත්ත පද්ධතියටකට ඇතුලත් කරනු ලබන අතර ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ගෘහ ඒකක වෙත ගොස් ජංගම දුරකථන යෙදවුමක් (Mobil App) මගින් තොරතුරු එක්රැස් කිරීම හා දත්ත පද්ධතියට ඇතුළත් කිරීම සිදුකරනු ලබයි.

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ප්‍රකාශිත තෝරාගැනීමේ නිර්ණායකයන් පදනම් කරගෙන පරිගණක පද්ධතිය මඟින් සුදුසු තැනැත්තන් හඳුනාගැනීමෙන් පසු වැඩසටහන සඳහා සුදුසු පුද්ගලයින්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කරනු ලැබේ.

පසුව අභියාචනා/විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදෙන අතර එය පුවත්පත් නිවේදන හා වෙබ් අඩවිය ඔස්සේ දැනුවත් කෙරේ. අභියාචනාකරු/පැමිණිලිකරු විසින් අභියාචනා/විරෝධතා ඉල්ලුම්පත සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදිය යුතුය.

එම අභියාචනා/විරෝධතා විසඳීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පත්කළ අභියාචනා කමිටු වෙත යොමුකෙරෙන අතර ගෘහ ඒකක මට්ටමින් හෝ පද්ධතිය ඇසුරින් අභියාචනා කමිටු විසින් නිරීක්ෂණය සහ පසු විපරම කර අවසන් වාර්තාව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලබාදෙයි.

අනතුරුව ප්‍රතිලාභීන්ගේ අවසන් නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අනුමැතිය වෙත යොමුකරනු ලබන අතර අනුමැතිය ලැබීමෙන් පසු එම නාම ලේඛනය ප්‍රසිද්ධ කරනු ලැබේ.

More articles

Latest article