28 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

නිවැරදි තොරතුරු ජනගත කිරීමේ වගකීම ඉටු කිරීමට කැප වෙන්න – ජනපති

Must read

රාජ්‍ය සන්නිවේදන යන්ත්‍රණය පිළිබඳ සියලු කැබිනට් ඇමැතිවරුන්ගේ, රාජ්‍ය ඇමැතිවරුන්ගේ සහ ආණ්ඩුකාවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (07) පැවැත්වුණු වැඩමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහත්වරුන් කතා බහක නිරතව සිටි අයුරු.

වත්මන් අභියෝගයෙන් රට ගොඩ ගැනීමට රට තුළ ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ප්‍රචාරණයක් නැතිව කිසිවක් සාර්ථක කර ගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩ ගැනීමේ රජයේ වැඩපිළිවෙළ නොපමාව ජනතාවට හෙළි කිරීමට සියලු රජයේ ආයතනවල මාධ්‍ය ලේකම්වරුන් කැපවිය යුතු බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය සන්නිවේදන යන්ත්‍රණය පිළිබඳ සියලු කැබිනට් ඇමැතිවරුන්ගේ, රාජ්‍ය ඇමැතිවරුන්ගේ සහ ආණ්ඩුකාරවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණු වැඩමුළුව අමතමිනි.

පෙර දැනුම්දීමකින් තොරව හදිසියේම ජනාධිපතිවරයා මේ අවස්ථාවට එක් වීම විශේෂත්වයකි.

රජයේ සංවර්ධන හා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ජනගත කිරීමේදී ප්‍රමුඛ වගකීමක් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන්ට පැවරෙන අතර, එහිදී රාජ්‍ය සන්නිවේදන යන්ත්‍රණය ශක්තිමත්ව පවත්වා ගෙන යෑමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනාධිපති මාධ්‍ය අංශය හා අමාත්‍යාංශ අතර ප්‍රශස්ත සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ මේ වැඩමුළුවේදී මාධ්‍ය ලේකම්වරුන් දැනුම්වත් කෙරිණි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මෙවැනි වැඩමුළු පැවැත්වීම කාලෝචිත පියවරක් බව කිව යුතුයි. මා කතා කළා ඇති. ඒ කතාවල හරය රටට දීමයි දැන් තිබෙන්නේ. ආණ්ඩුවේ වැඩපිළිවෙළ රටට දන්වන්න තිබෙනවා. අප ඉතා අසීරු කාලයක ඉන්නේ. මා හිතන්නේ 20 වැනි ශත වර්ෂයේ නෙවෙයි ඊට පෙරත් මෙවැනි තත්ත්වයකට අප මුහුණ දී නැහැ. අපට මෙයින් ගොඩ එන්න තිබෙනවා. ජනතාව බොහෝ දෙනෙක්ට බලාපොරොත්තු නැති වෙලා තිබෙනවා. අප ඒ තත්ත්වය නිවැරදි කළ යුතුයි. ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද කියා සඳහන් කළ යුතුයි.

රටේ තිබෙන ප්‍රශ්න ගැන අප අවධානයෙන් ඉන්නේ, හැම ප්‍රශ්නයකටම දැනට විසඳුම් සොයන්න බැරි වුණත් අප ඒ ප්‍රශ්න ගැන දන්නවා. ඒ පිළිබඳ ජනතාවට පණිවිඩයක් දිය යුතුයි. හැම කෙනාම දැන ගන්න ඕන මොකක්ද ආණ්ඩුව කරන්නේ කියලා. වැරදි මත තිබෙනව නම් ඒවා නිවැරදි කර ගන්න ඕන. රටේ අස්ථාවර භාවයක් තිබුණොත් ගොඩ එන්න බැහැ. රටේ ස්ථාවර භාවයක් තිබෙන්න ඕන. ඒ ස්ථාවර භාවය ඇති කරන්න ඕන නිවැරදි තොරතුරු දීලා.

අද විද්යුත් මාධ්‍යයෙන්, මුද්‍රිත මාධ්‍යයෙන් නොවෙයි ගැටලුකාරි තත්ත්වයක් මතුව තිබෙන්නේ සමාජ මාධ්‍යයෙන්. එහි හොඳයි, නරකයි දෙකම තිබෙනවා. ඒක මුළු ලෝකයේම තිබෙන ප්‍රශ්නයක්. අපට එය විශේෂයෙන්ම බලපාන්නේ මේ අවස්ථාවේදී. ඉතින් ඔබ සියලු දෙනාට මේ වගකීම ඉෂ්ට කරන්න තිබෙනවා.

ඔබේ වගකීම නිසි ලෙස ඉටු නොකළහොත් මුළු රටටම තවත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඔබ අද හමුවන්නේ ඒ පණිවිඩය දීමටයි. මේ වැඩමුළුවට සියලු මාධ්‍ය ලේකම්වරුන්ට ආරාධනා කර තිබෙන බව මට දැන ගන්න ලැබුණා. නමුත් පැමිණීමේ ලේඛනය අනුව අද මේ සඳහා සහභාගි වී සිටින්නේ 83%ක පමණ පිරිසක්. ආවේ නැත්තේ කවුද කියලත් හොයන්න ඕන. මොකද මේ අයට වගකීමක් පැවරී තිබෙනවා. කොහොමද මාධ්‍යයට කරුණු පැහැදිලි කරන්නේ, කොහොමද වැරදි මත නිවැරදි කරන්නේ, ඒ සඳහා විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙනියන්න තිබෙනවා. ප්‍රචාරය නැතිව කිසිවක් සාර්ථක වෙන්නේ නැහැ.

මීට අමතරව තවත් වැඩසටහන් තිබෙනවා. ඒ පිළිබඳත් ඔබ දැනුම්වත් විය යුතුයි. ඒ තමයි නිදහසින් පසු 75 වැනි සංවත්සරය පවත්වන්නේ ලබන වසරේ. ඒ වගේම ලබන සතියේ සිට හිටපු කථානායකතුමාගේ අදහසක් අනුව ජනසභා ඇති කිරීමේ වැඩපිළිවෙළ සැලසුම් කර තිබෙනවා. මෙලෙස විශාල වැඩ කොටසක් තිබෙනවා. ඒ ගැන ප්‍රචාරයක් ගැනීමට තමයි මෙවැනි වැඩසටහන් සංවිධාන කරන්නේ.

ඒ වාගේම මා යෝජනා කරලා තිබෙන්නේ මාස 3කට පමණ සැරයක් මේ පිරිස කැඳවලා සාකච්ඡා කරන්න. මේ වැඩසටහන කරන අපේ මාධ්‍ය අංශ භාර ප්‍රධානීන්ට මෙන්ම ලංකාදීප ප්‍රධාන කර්තෘතුමාට මා ස්තූතිවන්ත වෙනවා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාගේ මඟ පෙන්වීමෙන් සංවිධාන කර තිබූ මේ අවස්ථාවට ඇමැති බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර, ජනාධිපති ජ්‍යේෂ්ඨ මාධ්‍ය උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්වරු සහ ස්වාධීන රූපවාහිනි ආයතනයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

More articles

Latest article