32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් – ජනපති

Must read

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සියලු ජනකොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියලු දෙනා එකට ජීවත් වන රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමිසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන්ට සහනයක් සැලසීම සඳහා සත්‍යය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) පස්වරුවේ යාපනය දුර්ගා ශාලාවේ පැවති ජාතික තෛපොංගල් උත්සවය අමතමිනි.

සියලු ජාතීන් එකට ජීවත් වන සහ ආර්ථික සමෘද්ධිය උදා කරගත් රටක් ගොඩනැඟීමට මීට වසර 75කට පෙර ඩී.එස්. සේනානායක මැතිතුමා ඇති කළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව කරා යළි අප ගමන් කළ යුතු බව කී ජනාධිපතිවරයා සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා පියවර පිළිබඳ ප්‍රකාශයක් පෙබරවාරි මාසයේදී රටට ප්‍රකාශ කරන බවත්, ඒ සඳහා අදහස් විමසීමට පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේ කැඳවන බවත් කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

පළමුවෙන්ම සියලුදෙනාටම සුබ තෛපොංගල් මංගල්‍යයක් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම තෛපොංගල් උත්සවය ජාතික උත්සවයක්. අප අතීතයේ දී කෘෂිකර්ම රාජ්‍යයක්ව පැවතුණා. වාර්ෂික අස්වැන්න ලබාගැනීමෙන් පසුව අප දෙවිවරුන්ට පිං පමුණුවා, මේ චාරිත්‍ර ඉටු කළා.

අද මේ උත්සවයේ දී විචිත්‍රවත් ඉදිරිපත් කිරීමක් සිදු කළ රාමනාදන් සෞන්දර්ය පීඨයේ ශිෂ්‍යයින්ට මගේ ප්‍රශංසාව පළ කරනවා. එය උසස් මට්ටමේ නාට්‍යයක් කියලා කියන්න කැමතියි. නාදසලාම් තූර්ය වාදන කණ්ඩායමත් සාම්ප්‍රදායික දැනුම අනුව තම ඉදිරිපත් කළ සියලුදෙනාටත් මගේ ස්තූතිය පිරිනමනවා.

මේ කණ්ඩායම් දෙකම ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් කළ හැකි මට්ටමේ සිටිනවා. ඒ පිළිබඳ ශ්‍රී ලාංකිකයින් ලෙස අප ආඩම්බර විය යුතුයි. ගාල්ලේ පැවති කලා උලෙළ වගේ එකක් යාපනයේදීත් පැවැත්වීමට අද දහවල් අප තීරණය කළා. අප අලුත් දෙමළ සංස්කෘතියක් බිහි කර තිබෙනවා. එය ලෝකයට පෙන්විය යුතුයි. මේ උලෙළේ සංස්කෘතිකාංග අවසන් වුණේ සිංහිඳියාවෙන්.

සංහිඳියාව මේ රටට අවශ්‍යයි. වසර 30 ක් පැවති යුද්ධය සහ කැරලි මෙන්ම, බෙදුම්වාදී, ජාතිවාදී, ආගම්වාදී සහ බංකොලොත් දේශපාලනයෙන් අපේ රට බෙදිලා තිබෙන්නේ. අප සියලුදෙනා එක් රටක ජීවත් විය යුතු නිසා සහ ආර්ථිකය ගොඩනැංවිය යුතු නිසා මීට වසර 75කට පෙර ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතිකළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව කරා නැවත ගමන් කළ යුතුයි.

මේ තෛපොංගල් උත්සවය පැවැත්වෙන වේදිකාවේ ගින්න මත තබා ඇති මුට්ටියට වතුර දානවා, කිරි දානවා, හාල් දානවා, හකුරු දානවා. එසේ පොංගල් හදනවා මා දුටුවා. මේ උණුසුම් වෙලාවේ අපෙ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් එකම බඳුනකට දාලා ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් අරගනිමු.

උතුරේ සහ දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්න පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනවා. මා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සියලුදෙනා කැඳවලා මේ රට එකට එක් කරන්න වැඩ කරමු, සංහිඳියාව යළි ඇති කරමු කියලා ඉල්ලුවා. මා පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරු සමඟත් සාකච්ඡා කළා. ඒ වගේම රට තුළ සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා පියවර පිළිබඳ පෙබරවාරි මාසයේදී රටට ප්‍රකාශ කරන්න මා බලාපොරොත්තු වෙනවා. එම තීරණය ගන්නා ලෙස මා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා වගේම ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ලබන සතියේ පක්ෂ නායක හමුවක් කැඳවා තිබෙනවා.

මේ ප්‍රශ්න පැත්තකට දාලා, කල් දාලා පාපන්දු ගහලා විසඳන්න බැහැ. විසඳුම රටටත්, පාර්ලිමේන්තුවටත් කිව යුතුයි. පළමුව පාර්ලිමේන්තුවේ අදහස් ලබා ගැනීම සිදු කරන්නේ එනිසයි. අප ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කර තිබෙනවා. අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට සහනයක් ලබා දෙන්න, සත්‍යය සොයා ගන්න, මොකක්ද වුණේ කියලා හොයා ගන්න අවශ්‍යයි. ඒ වගේම මේ පිළිබඳ සොයා බලන්න සත්‍යය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරනවා.

මීට සති 03කට පෙර මා හමුදාපතිවරයාගෙන් ඇහුවා සත්‍යය සහ සංහිඳියාව කොමිසම ඇති කරන්න යනවා මොකක්ද ඔබලගේ අදහස කියලා. ඒක හදන්න සර් එතකොට අපට තිබෙන චෝදනාවලටත් පිළිතුරු දෙන්න පුළුවන් කියලා හමුදාපතිවරයා කිව්වා . මේ පිළිබඳ කාගෙවත් විරුද්ධත්වයක් නැහැ.

ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අප නව නීතියක් ගේනවා. සමහරු කියනවා මේ පනත උතුරට විරුද්ධව යොදවනවා කියලා. අප මෙය යොදවන්නේ රටේ ස්ථාවරභාවය ඇති කරන්න. මට පසුගිය වසරේ මෙය දකුණට යෙදවීමට තිබුණා. ඒ වගේම අප නව නීති ගේනවා.

ඊළඟට තිබෙන්නේ ඉඩම් ප්‍රශ්නය. වනජීවි දෙපාර්තමේන්තුව සම්බන්ධව ඇති වී තිබෙන ප්‍රශ්න අද අ‍පි සාකච්ඡා කරනවා. ඒ වගේම යාපනයේ ඉඩම් නැවත ලබාදීම පිළිබඳවත් සාකච්ඡා කරනවා.

යුද්ධය පැවති කාලයේ දී මේ ප්‍රදේශ ආරක්ෂා කරගන්න ඕන නිසා යුද හමුදාව අක්කර 30,000ක් පමණ තමන්ගේ යටතේ පවත්වාගෙන ගියා.

අද ආරක්ෂක හමුදාව යටතේ ඉතිරිවෙලා තිබෙන්නේ අක්කර 3,000යි. එයිනුත් තව කොටසක් භාරදීමට හමුදාව කැමැත්ත පළ කර තිබෙනවා. ඒ ගැන අප සාකච්ඡා කරනවා.

අපේ රදගුරුතුමා ප්‍රකාශ කළ පරිදි අප එම කතෝලික සහ හින්දු දේවස්ථාන හදලා දෙන්න පියවර ගන්නවා. අවුරුදු සිය ගණනක සිට පැවැත්වු පූජා තිබෙනවා, අලුතින් ආරම්භ කළ ඒවා තිබෙනවා. ඒ සියල්ල ඉදිරියට පවත්වාගෙන යා යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න අප බලාපොරොත්තු වෙනවා. උතුරේ පමණක් නොවෙයි දකුණේ මහ ඇමැතිවරුන් පවා එය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා. අප ඒ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඊළග වස‍ර දෙකේ දී මේ වැඩ කොටස ක්‍රමානුකූලව කරගෙන යමු. අද දිළිදුකම, බඩගින්න, විරැකියාව සිංහල අයටවත්, දෙමළ අයටවත් සීමා වෙලා නැහැ, අප සියලුදෙනා දුක් විඳිනවා. අප සියලුදෙනා එක්වෙලා මේ අභියෝග ජය ගත යුතුයි.

උතුරු නැඟෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විතරක් නෙවේ. තවත් ප්‍රශ්න තිබෙනවා සාකච්ඡා කරන්න. මේ රැස්වීමෙන් අනතුරුව මා කඳුකරයේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුනුත්, පාර්ලිමේන්තු පක්ෂ නායක‍යින් කැඳවා එම සාකච්ඡාවල දෙවන වටය ආරම්භ කරනවා. කඳුකරයේ දෙමළ ජනතාව අපේ සමාජයට සම්පූර්ණයෙන් අන්තර්ගත කර ඔවුන්ටත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව භුක්තිවිඳින අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දෙනවා. රටට විදේශ විනිමය උපයන මේ විශාල කණ්ඩායම කොන් කරන්න බැහැ. අනිත් අය සමඟ එක් කළ යුතුයි.

මුස්ලිම් මන්ත්‍රීවරු සහ පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මුස්ලිම් ජනතාවට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඒ අයත් ගෙන්වා ඒ ප්‍රශ්න සාකච්ඡා කර විසඳුම් ලබා දිය යුතුයි. දෙමළ, මුස්ලිම් අයට පමණක් නොවෙයි සිංහල අයටත් ප්‍රශ්න තිබෙනවා. කොන් වුණ ගම්මාන තිබෙනවා. සමහර තැන්වල කුල භේදය බලපා තිබෙනවා. දුප්පත් ජන කොටස් කොන් වී තිබෙනවා. තමන‍්ගේ ආරක්ෂාව ගැන ක්‍රිස්ත්‍රියානි ජනතාව බියෙන් පසුවෙනවා. ඒවා ගැන කතා කරන්න සමාජ සාධාරණ කොමිසමක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. අප මේවා ගැන කතා කරලා ශ්‍රී ලාංකීය අනන්‍යතාව තවදුරටත් තහවුරු කරමු කියලා මා සියලුදෙනාට කියනවා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, කුලසිංහම් තිලීපන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරීහු උත්සවයට එක්ව සිටියහ.

More articles

Latest article