33 C
Colombo
බදාදා, මැයි 31, 2023

ඉන්දියාව සහ චීනය සමඟ පැවති ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා සාර්ථකයි – ජනපති

Must read

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසීය.

ජනතාවට සහන සලසමින් ඔවුන් පීඩාවෙන් මුදා ගැනීම සඳහා නව දේශපාලන ක්‍රමයක් ඔස්සේ සාමූහිකව අත්වැල් බැඳ ගනිමු යැයිද ජනාධිපතිවරයා සියලු මහජන නියෝජිතයන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.

අසීරු ආර්ථික පසුබිමක් මධ්‍යයේ වුවද ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා මේ වසරේ ඖෂධ වෙනුවෙන් රුපියල් බිලියන 30-40ක මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බවද කියා සිටියේය.

රජයේ නිවැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් වී අස්වැන්නේ අතිරික්තයක් ලැබී ඇති බවත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබා දීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ඒ අනුව රජය සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

නිදහස් සැමරුම වෙනුවෙන් රජය මුදල් වැය කරන බවට ඇතැමුන් චෝදනා නැඟුවත් එය අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිදහසේ සියවන සැමරුම දක්වා වූ වසර 25දී රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ වෙනුවෙන් නව ආයතන ගණනාවක් මෙන්ම නීති කිහිපයක් හඳුන්වා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

මේ වන විට අපේ ආර්ථිකය නිසි මඟට ගැනීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. දැන් අපට තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමටයි. අපි ඒ සඳහා සාකච්ඡා කරගෙන යන අතර, දැනට එම සාකච්ඡා සාර්ථක බව මට මේ සභාවට ප්‍රකාශ කළ හැකියි. අපි බලාපොරොත්තු වන ආදායම අපිට එකවර ලැබෙන්නේ නැහැ. ඒ සියලු දේ සමඟ මේ වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමයි අපේ අපේක්ෂාව.

වැටුප් ගෙවීම අපේ ප්‍රධානම කාර්යයක්. දෙවැනි තැන තිබෙන්නේ විශ්‍රාම වැටුප් ගෙවීමට. ඒ වගේම සමෘද්ධිය ලබා දිය යුතුයි. ඒ සමඟම තවත් නව වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහාත් අපි මුදල් ලබා දිය යුතුයි.

දැන් අපිට චෝදනාවක් තිබෙනවා අපි ඖෂධ සඳහා මුදල් ලබා දෙන්නේ නැහැ කියලා. තවත් මිලියන 100ක් දෙන්න තිබෙනවා කියලා. ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අංශයේ එක ගැටලුවක් තිබෙනවා. ඒ තමයි අපිට පසුගිය වසර කිහිපය සඳහා රුපියල් බිලියන 50ක බිලක් ගෙවීමට තිබෙනවා.

ඒ වුණත් අවශ්‍ය ඖෂධ ලබා දීමට අපි මේ වසරේදී රුපියල් බිලියන 30 – 40ක මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරනවා. කෙසේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය එක්වෙලා මේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරනවා. මේ ඖෂධ ඇණවුම් කිරීමට ටික කාලයක් ගත වෙයි. අපිත් කැමති නැහැ අපේ රෝහල්වල අඩු පාඩු තිබෙනවාට. ඒ වගේම ඖෂධ නැතිව ජනතාව මිය යනවට. ඒ නිසා ඒ වැඩකටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් අපි වෙන් කර තිබෙනවා.

පසුගිය වසරේ අපේ රටේ ආහාර හිඟයක් ඇති වුණා. අපි බලාපොරොත්තු වුණා මේ වසරේදීත් ආහාර හිඟයක් ඇති වෙයි කියලා. කෙසේ හෝ අපි ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා දුන්නා. දැන් අපට අස්වැන්නේ අතිරික්තයක් ඇති වී තිබෙනවා. පසුගිය මහ කන්නය මෙන්ම යල කන්න‍ය සාර්ථක වීම නිසා අපට මේ වී අතිරික්තය ලැබී තිබෙනවා.

දැන් අපට තිබෙන්නේ වී කිලෝ එක රුපියල් 100ක මට්ටමේ පවත්වාගෙන යෑමට. ඒ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබෙනවා. ඊට පෙර වෙන් කළේ රුපියල් බිලියන 05ක වගේ මුදලක්. මීට පෙර සිදු වුණේ මේ වී අතිරික්තය අලෙවි කිරීමයි. ඒත් අපි එසේ සිදු කරන්නේ නැහැ. මේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුල් මිලියන 02කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් දීමේ වැඩපිළිවෙළක් අපි සැලසුම් කර තිබෙනවා. ඊට වඩා ලබා දිය හැකි නම් මම කැමතියි. අපි මේ 75 වන නිදහස සමරන අවස්ථාවේදී ජනතාවට කුසගින්නේ සිටීමට ඉඩ දෙන්න බැහැ. අපි ඒ සඳහා අවශ්‍ය මුදල් යොදවනවා.

මේ නිදහස් සැමරුම වෙනුවෙන් මුදල් වියදම් කරනවා කියලා අද ඇතැම් අය දොස් කියනවා. එහෙත් අපි ජනතාවට මෙම සහන ලබා දිය යුතුයි.

ඒ වගේම ඊළඟ වසර කිහිපයේදී අපිට තවත් බිලියන 10ක් පමණ වැය කිරීමට සිදු වෙනවා. අද නිදහසින් පසු 75 වසරක් ගත වී තිබෙනවා. නිදහසේ 100 වන සැමරුම වන විට මේ රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපි ආයතන ගණනාවක් ඇති කිරීමට පියවර ගන්නවා.

ඒ අනුව ඉතිහාසය පිළිබඳ ආයතනයක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා. දැන් අපට තිබෙන ලොකුම චෝදනාවක් තමයි ඉතිහාසය අමතක වෙලා කියන එක. එ‍සේ නම් අපි එවැනි ආයතනයක් ඇති කළ යුතුයි. ආර්ථික විද්‍යා හා වෙළෙඳ ආයතනයක් අපි ස්ථාපිත කරනවා. මේ සම්බන්ධයෙන් ලෝකයේ රටවල විවිධ ආයතන තිබෙනවා.

ඒ වගේම කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආයතනයක් පළමු වතාවට අපේ රටේ ඇති කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම අපේ නිලධාරීන්ගේ පුහුණු කටයුතු සඳහා රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්වවිද්‍යාලය ඇති කරනවා.

අපේ කෘෂි කර්මාන්තයේ නවීකරණයක් සිදු කරනවා නම් කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ඇති කළ යුතුයි. ඒ ව‍‍ගේම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ඇති කිරීමට අපි පියවර ගන්නා අතර, ඒ සඳහා සහාය දෙන බවට විදේශ රටවල් අප සමඟ දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ජාත්‍යන්තර මට්ටමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන යෑම වෙනුවෙන් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. මේ සඳහා රුපියල් බිලියන 10කට වඩා මුදල් වැය විය හැකියි. මේ සඳහා අපි එකවර මුදල් යොදවන්නේ නැහැ. මේ ආරම්භ කරන්නේ මුදල් ලැබීමට තිබෙන ආයතන. ඉන් අනතුරුවයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ.

අපේ මේ 75 වන නිදහස් සැමරුම එතනින් අවසන් වන්නේ නැහැ. අනාගතය වෙනුවෙනුයි අපි ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.

ඒ වගේම අපි නව නීති කිහිපයක් ගෙන ඒමට කටයුතු කරනවා. කාන්තා පනත පිළිබඳ ජාතික කොමිෂන් සභාව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත මේ නීති පනත් 03 ගෙන ආ විට දකුණු ආසියාවේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩිම පියවර ගෙන තිබෙන රට බවට අපේ රට පත්වෙනවා.

ඒ වගේම පරිසරය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ පනත, වනාන්තර ප්‍රතිරෝපණය සහ වෘක්ෂ ආවරණ පනත ගෙන එනවා. ජීවමාන අස්ථිත්ව පනත මඟින් මහවැලි ගඟ, සිංහරාජය, ශ්‍රී පාද අඩවිය, හෝර්ටන්තැන්න, නකල්ස්, ආදම්ගේ පාලම යන ස්ථානවලටත් ජීවමාන අයිතිය ලැබෙනවා.

සාගර සම්පත් ගවේෂණය සහ කළමනාකරණය සඳහා නීති, මුතුරාජවෙල (සංරක්ෂණ) පනත මේ සියල්ල තුළින් මේ කලාපයේ හොඳම පරිසර නීති තිබෙන රට බවට අපේ රට පත්වෙනවා. අනාගත පරපුර අපෙන් ඉල්ලා සිටින්නේ මේ සම්පත් ආරක්ෂා කර දෙන්න කියලා.

ඒ වගේම අපි සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභා පනත හඳුන්වා දෙනවා. අපි සමාජ සාධාරණත්වය උදෙසා කටයුතු කළ යුතුයි. මේ වැඩසටහන්වලට අමතරව මේ වසරේදී නාගරික වනාත්තර 75ක් ඇති කිරීම වෙනුවෙන් හා ජාතික තරුණ වේදිකාව පිළිබඳ ව්‍යාපෘතියේ වැඩසටහන් වෙනුවෙන් මුදල් යෙදවිය යුතුයි. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 1996ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා.

ර‍ටේ ආර්ථික ගැටලුවක් තිබුණත් ජනතාවට සහන ලබා දීම වෙනුවෙන් තමයි අපි මේ කටයුතු කරන්නේ. මේ නිදහසේ 75 වන සැමරුමේදී මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපේ දේශපාලන ක්‍රමය අපි දැන් වෙනස් කරමු කියලා. ජනතාව පීඩාවෙන් මුදා ගනිමින් ඔවුන්ට සහන සැලසීම සඳහා අපි එකතු වෙලා වැඩ කරමු. මේ සීමාසහිත සම්පත් ප්‍රමාණය සමඟ මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට අපට හැකි වුණා නම්, රටේ අනාගතය වෙනුවෙන් අපි සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරමු කියලා මම ඉල්ලා සිටිනවා.

More articles

Latest article