28 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

ආහාර සුරක්ෂිතතා වැඩසටහනට ෆොන්ටෙරා සමාගමෙන් මිලියන 174ක කිරිපිටි

Must read

ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යන්ත්‍රණ වැඩසටහනට රුපියල් මිලියන 174ක් වටිනා කිරිපිටි ලබා දීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ.

එම කිරිපිටි තොගය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීම ෆොන්ටෙරා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජුඩිත් ස්වොල්ස් මහත්මිය විසින් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (17) සිදු කෙරිණි.රට පුරා සිටින ආර්ථික දුෂ්කරතාවෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000ක් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මේ කිරිපිටි ලබා දීමට නියමිතය.

ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති සහ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා,

රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ දැක්ම වනුයේ සෑම පුරවැසියකුටම අවශ්‍ය පෝෂණය ලැබීම සහතික කිරීම බව පැවසීය. එහි මූලික පියවරේ අරමුණු වඩාත් අවදානමට ලක් වූ පවුල්වල පෝෂණ අවශ්‍යතාවන් සපුරාලීමට සහායදීම බවත් ඒ සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වීම ගැන ෆොන්ටෙරා සමාගමට ස්තුති කරන බවත් ඒ මහතා පැවසීය.

නිවැරදි දේ කිරීමට කැපවී සිටින වගකිව යුතු ආයතනයක් ලෙස, ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලාංකිකයන්ට උසස් තත්ත්වයේ කිරි පෝෂණය සැපයීමේ සත්කාර්යය, පසුගිය වසර 40 තුළ ආරම්භ කර ඇති ප්‍රජා සේවයේ දිගුවකි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ෆොන්ටෙරා සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ කළමනාකරණ අධ්‍යක්ෂ විද්‍යා සිවරාජා, ෆොන්ටෙරා සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන විධායක නිලධාරි ජුඩිත් ස්වාලෙස් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

More articles

Latest article