30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

නිදහසේ 75 වැනි සංවත්සරයේදී අප සියලු දෙනා සැබෑ ශ්‍රී ලාංකිකයන් වෙමු – ජනපති

Must read

මුස්ලිම් ප්‍රජාවගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සමාජ සාධාරණත්ව කොමිසම සමඟ අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කළේය.

75 වැනි නිදහස් උත්සවය සැමරීම සඳහා ශක්තිමත් සහ සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වන ලෙස සියලු ප්‍රජාවන්ගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා ඕනෑම ආගමක් නවීන ලෝකය සමඟ අනුගත විය යුතු බව ද කිසිම ආගමක් වෛරයේ ආගමක් නොවන බවද පෙන්වා දුන්නේය. සෑම ආගමකම විවිධ ගැටලු ඇති නමුත් එක ආගමක් හෝ වෛරයේ ආගමක් බවට පත් නොකළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (19) පෙරවරුවේ පැවැති සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ සියවස් සැමරුම් අවස්ථාවට සහභාගි වෙමිනි. මෙරට ඉස්ලාම් භක්තිකයන්ගේ විවිධ ආගමික හා සංස්කෘතික ගැටලුවලදී නිසි මඟ පෙන්වමින් උපදෙස් සපයන සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ සියවස් සැමරුම මේ වසරට යෙදී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

1922 පළමු ලෝක යුද්ධයෙන් පසු ලෝකය විශාල පරිවර්තනයකට භාජනය වෙමින් පැවතියා. එයට මුහම්මද් නබිතුමාගේ මරණයෙන් පසු සියවස් ගණනාව තුළ මුස්ලිම් ප්‍රජාව සහ එහි ආධිපත්‍යය යටතේ පැවති ඉඩම් සහ ජනතාව ඇතුළත් දේශපාලන – ආගමික රාජ්‍යය අහෝසි කිරීම ඇතුළත් වෙනවා. ඒ වගේම එය ඉන්දියාවේ ප්‍රතිෂ්ඨාපනය සඳහා විශාල ව්‍යාපාරයක් තිබුණා. නමුත් ලංකාවේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය ආරම්භ කළා. ඒක මුස්ලිම් චින්තනය මිස වාද විවාදයක් නොවේ.

එදා තිබුණු සමහර ප්‍රශ්නවලට අදත් ඔබ මුහුණ දෙනවා. පළමුව, අප සිටින්නේ 1922 දී නොතිබූ ජාතීන් 150ක් පමණ සිටින වෙනමම ලෝකයකයි. විද්‍යාව හා තාක්‍ෂණයේ දියුණුව වගේම දේශපාලන අයිතිවාසිකම් සංවර්ධනය සමඟම ඇතිවූ වෙනස්ම සියවසකයි. අපට ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ අනාගතය දෙස බැලීමට සිදුව ඇත්තේ මේ පසුබිම තුළයි. පළමුව, ඉස්ලාමය පමණක් නොව, සියලුම ආගම් බලන්නේ ආගමේ හරය කුමක් ද කියලා.

දැන් ඔබ ඔබේ සියවන වසර සම්පූර්ණ කර තිබෙනවා. අපි අපේ නිදහසේ 75 වැනි වසරට මුහුණ දෙන්නේ. මේ කාලයෙන් වැඩි හරියක් අප ගත කරලා තියෙන්නේ එකිනෙකා සමඟ සටන් කරමින්. මම හිතන්නේ දැන් සංහිඳියාවට සහ සහජීවනයට කාලයයි. ඉතින් අපි දැන් පටන් අරන් තියෙන්නේ ශ්‍රී ලාංකේය දෙමළ, ප්‍රශ්න මොනවද, අපි සංහිඳියාව කරා යන්නේ කොහොමද කියලා සාකච්චා කරන්න. ඒ වගේම එහි පළමු පියවර අරගෙන අපි නැවතත් පක්ෂ නායකයන් හමුවෙනවා. මේ සාකච්ඡාවලදී අපි විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. කඳුකරයේ දෙමළ ජනතාව සමාජයේ සෙසු අය සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව අපි සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. අනෙකුත් ජනවර්ග සහ ආගමික කණ්ඩායම් එයට ඒකාබද්ධ කරගත යුතයි. මොකද මේවායේ ප්‍රතිලාභ ඔවුන්ට ලැබී නැහැ. අපි සම්පූර්ණයෙන්ම ඒකාත්මික විය යුතුයි. තුන්වන එක මට අවශ්‍ය වන්නේ මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ඔබ සමඟ සාකච්ඡා කිරීමටයි.

ආගමේ නිර්මල අරුත කුමක් ද සහ අප නූතන ලෝකය සමඟ සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න අප හැමෝම මුහුණ දෙන ප්‍රශ්නයක්. ආගමේ හරය අතීතයට, වර්තමානයට සහ අනාගතයට සරිලන අයුරින් තිබිය යුතුයි. එයට හොඳ උදාහරණයක් වන්නේ බුදුදහම. බුදුරජාණන් වහන්සේ ගංගා ඉවුරුවල දේශනා කරන විට ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක් තිබුණේ නෑ. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කල, එහි එක් පදනමක් වන බුදුදහම ඇති ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක් ගොඩනැඟීමට අපට හැකි වුණා. ගෞතම බුදුරදුන්ගේ කාලයේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරය නොතිබුණත් අප එය පිළිගෙන ඊට අනුගත වුණා. ඒ හා සමානව, අප සියල්ලන්ම වර්තමානයේ ජීවත් වෙමින් අනාගතය දෙස බැලිය යුතුයි. අපේ ආගමේ හරය කුමක්දැයි සොයා බැලීමට අතීතය ප්‍රයෝජනවත් වෙනවා. එනමුත් කිසිම ආගමක් වෛරයේ ආගමක් නොවිය යුතුයි. එය අනුකම්පාසහගත විය යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම ඉස්ලාම් ආගම හෝ ක්‍රිස්තියානි හෝ වේවා ආගම් කිසිම ආකාරයකින් වෛරී විය නොහැකියි.

අප එකට ජීවත් විය හැකි ආකාරය සහ එකිනෙකාගේ ආගම දෙස හරවත් ලෙස බැලිය යුතුයි. සෑම ආගමක්ම උත්සාහ කරන්නේ එහි ඇදහිලිවන්තයන් මෙන්ම නොඇදහිලිවන්තයන් සෑම කෙනකුටම තම ආගම පිළිබඳ දේශනා කිරීමටයි. නමුත් නොඇදහිලිවන්තයන්ට දේශනා කිරීමෙන් අදහස් කරන්නේ ඔවුන් ඕනෑම ආගමක සතුරන් කියලා නොවෙයි. සෑම ආගමකම දැන් බොහෝ ආරවුල් දකින්න ලැබෙනවා. එය ඉස්ලාම් දහමේ පමණක් නොව, අනෙක් ආගම්වලත් අනාගතය කුමක් ද යන්න පිළිබඳව විශාල වාද විවාද සහ සාකච්ඡාවක් සිදු වෙනවා. හැම ආගමකම හින්දු ආගමේ වේවා, බුද්ධාගමේ වේවා ප්‍රශ්න තියෙනවා, අපි සාකච්ඡා කරන්නේ ඒ මොකක්ද කියලා. එබැවින් අපි සියල්ලෝම මෙම ගැටලුවට මුහුණ දී සිටිනවා.

නමුත් අපි අපගේ මූලික මූලධර්මවලින් ඉවත් නොවිය යුතුයි. ඒ නිසා අපි ඉස්ලාම් ආගමේ මෙන්ම බුද්ධාගමේ, හින්දු, ක්‍රිස්තියානි ආගම්වලත් අපේ ආගමේ හරය සෙවීමේදී එම ප්‍රතිපත්තිවලට ගරු කළ යුතුයි. එවගේම අපිට දැනෙනවා ආගම වාණිජකරණය වෙලා කියලා. ආගම පාවිච්චි කරලා තියෙන්නේ යුද්දෙට, වෛරයට, ඒත්, ඒක අයින් කරලා බලන්න ඒකේ හරය මොකක්ද, නිර්මල ආගම මොකක්ද කියලා. එයින් අදහස් කරන්නේ ආපසු අතීතයට ගොස් යුද්ධ ආරම්භ කරන්න කියල නොවෙයි. දෙවනුව ආගම ඊටම අනුගතවී නූතනත්වයට මඟ පෙන්විය යුතුයි.

අක්බර් අධිරාජ්‍යයා කලාප එකතු කිරීමට උත්සාහ කළේ කෙසේ ද ? ඔහුව අනුගමනය කරමින් ඉන්දියන් සාගරයේ සහ පැසිෆික් සාගරයේ සන්ධිස්ථානය ගැන ඔහුගේ මුණුපුරා කතා කළා. අපි එය ඉන්දු – පැසිෆික් ලෙස හඳුන්වනවා. නමුත් ඔහු කීවේ එය නොවේ. ඔහු අදහස් කළේ සාගර දෙකක එකමුතුව නොව හින්දු ආගමේ සහ ඉස්ලාම් ආගමේ එකමුතුව ගැනයි. එබැවින් ඔහු පැවසූ දේ පවා ගැටුමට මුල පිරුවේ එය වෙනත් ආකාරයකින් භූ දේශපාලනයට ඇඳ ගත් නිසායි. ඔබ නූතනත්වය පිළිගෙන ඉදිරියට යනවා ද ? ආගම් එය කළ යුතුයි. ඔබට එය වෙනස් කළ හැකි මාර්ගයක් නෑ. ඉස්ලාම් ආගම සවුදි අරාබියේ ආරම්භ වූණත් එහි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව සිටින්නේ ඉන්දුනීසියාව, පාකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රාජ්‍යයන් පිහිටි දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ බව කවුරුත් පිළිගත යුතුයි. ඒ වගේම දැන් පවා ඔබට පෙනෙනවා මේ වෙනස්කම් නිසා ලෝකයේ සියලුම රටවල ඇති වී ඇති ගැටුම් පිළිබඳව. අපි දැන් බටහිර ශිෂ්ටාචාරය පිළිගෙන ඉවරයි.

හොඳම උදාහරණය නම්, බ්‍රිතාන්‍යයේ අගමැතිවරයකු ලෙස හින්දු ජාතිකයකු සහ ලන්ඩනයේ නගරාධිපති ධුරයට පත් වී ඇත්තේ මුස්ලිම් ජාතිකයකුයි. ඔවුන් නියෝජනය කරන්නේ බටහිර සංස්කෘතීන් මිස හින්දු හෝ මුස්ලිම් සංස්කෘතීන් නොවේ. ඉතින් මේවා තමයි නූතනත්වය පිළිබඳ අද අපට පෙනෙන්න තිබෙන හොඳම උදාහරණයන්. තුර්කියේ කෙමාල් අතාටර්ක්ගේ, ඊජිප්තුවේ ගමාල් නසාර් කළ දේ අපි ප්‍රතික්ෂේප කළ යුතුද? ඒවගේම ජනාධිපති සුකර්නෝ දූපත් 400ක් එකතු කර ඉන්දුනීසියාව ඇති කළේ කෙසේ ද? බෝරෝබුදුර් සහ රාමායණයේ ජයග්‍රහණ මතකයේ තබා ගන්න. ඉතින් ඔබ ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවා ද? අපි මෙය පිළිගෙන ඉදිරියට යා යුතුයි. එබැවින් නූතනත්වය වැදගත් වන අතරම ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අතර නවීන චින්තන මධ්‍යස්ථාන ඔබට තිබිය යුතු බව මම කියනවා. ඊට හොඳම උදාහරණය බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන අග්නිදිග ප්‍රදේශයේ පිහිටුවා ඇති විශ්වවිද්‍යාලයයි. ඒ වගේම අෂ්රෆ් මැතිනිය කාන්තාවක් විදියට තමන් කරපු ජයග්‍රහණ වෙනුවෙන් ඇයට සම්මානයක් ලැබීම ගැන මම සතුටු වෙනවා. ඇය එය ලබා ගත යුතුයි.

ඒ වගේම විශ්වවිද්‍යාලය පිහිටුවීමේදී දිවංගත අෂ්රෆ් අමාත්‍යවරයා ඉටු කළ කාර්යභාරයද මා අගය කරනවා. එය සියලු ආකාරයෙන්ම වඩාත් නවීන විශ්වවිද්‍යාලයක් විය යුතුයි. එය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන සියලු ජාතින්ට ප්‍රයෝජනවත් වන විශ්වවිද්‍යාලයක් විය යුතුයි. එය මුස්ලිම්වරුන්ට පමණක් සීමා කිරීමට උත්සාහ කළහොත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අත් වූ ඉරණමම අත්විය හැකිය. එබැවින් එය මතක තබා ගන්න. එබැවින් නූතනත්වය යනු සාරය, අප පිළිගත යුතු සහ අප ඉදිරියට යා යුතු දෙයයි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) යනු ප්‍රධාන ප්‍රශ්නවලින් එකක්. ඒකට මම මැදිහත් වෙන්න යන්නේ නැහැ. ඒක මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රශ්නයක්. නමුත් මම එකක් කියනවා, ආපස්සට යන්න එපා. මුස්ලිම්වරුන්ට අහිතකර කිසිම ක්‍රියාවක යෙදෙන්න එපා. පහුගිය දවසක මම දැක්කා සමහර මුස්ලිම් ළමයි මේ වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා. එය ඇත්ත වශයෙන්ම දරුවන්ගේ රැකවරණය පිළිබඳ නීතිය උල්ලංඝනය කිරීමක්. වැඩිහිටියන්ට අවශ්‍ය නම් එය කළාට කමක් නැහැ. එහෙත් දරුවන්ව ඉන් ඈත්කර තබන්න.

දැන් ඔබ මුහුණ දෙන ප්‍රශ්න මොනවා ද? මම හිතන්නේ ඒකට හොඳ උදාහරණයක් තමයි 2018 දිගන කෝලාහලය. ඒ ගැන කතා කරන්න වෙනවා. ඒ වගේම 2019 පාස්කු බෝම්බ ගැනත් කතා කරන්න වෙනවා. මෙයට හේතු වූ කරුණු

සහ ප්‍රශ්න මොනවා ද යන්න පිළිබඳව අපට කතා කළ යුතුයි. කොළඹ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ශ්‍රී ලංකාවේ ගිනිකොන දෙසින් සිටින මුස්ලිම්වරුන් හෝ මන්නාරම මුස්ලිම්වරුන් මුහුණ දෙන ප්‍රශ්නවලට වඩා හාත්පසින්ම වෙනස්ය. අප කතා කරන දෙයට දෙමළ, උඩරට දෙමළ, ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල අය සම්බන්ධ වන්නේ කෙසේ ද ? ඔබේ දුක්ගැනවිලි, ඔබට දැනෙන සමාජ පසුගාමිත්වය පිළිබඳව සාකච්ඡා කරමු. මම හිතන්නේ එය කිරීමට මේ හොඳම කාලයයි. එවිට මෙය තුන්වැනි සංහිඳියා පනත වෙනවා. ඒ විතරක් නොවෙයි. අපි සිංහල අය අතරත් සාකච්ඡාවක් කරනවා. සමහර කණ්ඩායම් බලපෑමට ලක් වෙලා ඉන්නේ. විවිධ හේතුන් මත ඔවුන් සමාජය පිළි ගන්නේ නැහැ. මේ නිසා තමයි මට දිගුකාලීන ගැටලු පිළිබඳවද සොයා බලන සමාජ සාධාරණත්වය කොමිෂන් සභාවක් පිහිටුවීමට අවශ්‍ය වන්නේ.

එබැවින් ප්‍රශ්න ගැන ඉතා ඍජුව කතා කළ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් මම ඉල්ලා සිටින්නේ මුස්ලිම් කණ්ඩායම ද මෙය සමඟ එකතු වී එහි තුන්වන අදියර ලෙස මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රශ්න සාකච්ඡා කරමු කියල. ඉතින් අපි එකින් එක එක ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යමු. මම මේ සාකච්ඡා එකක්වත් එකට ගත්තේ නැහැ, මොකද ඒ ඒ පිරිස් තමන්ගේ ප්‍රශ්නවලට ප්‍රමුඛත්වය බලාපොරොත්තු වෙනවා. මේ විදිහට ගියොත් කිසිම ප්‍රශ්නයක් විසඳන්නේ නැහැ. ඒ නිසා අපි වෙනස්ම ආකාරයට එකින් එක විසඳා ගනිමින් ඉදිරියට යමු. ඉතින් නිදහසේ 75 වන සංවත්සරයෙදි අපි සියලු දෙනාම සැබෑ ශ්‍රී ලාංකිකයන් වෙමු. ඉන්පසු ඉදිරි වසර 25 දෙස බලමු. අපි ඉදිරි වසර 25 තුළ කුමක් ද කරන්නේ ? අපි ආරම්භ කරන එක් ආයතනයක් තමයි මේ සියලු කරුණු සාකච්ඡා කළ හැකි ඉතිහාස ආයතනය. ප්‍රසිද්ධ වේදිකාවල ඉඳන් අතීතය ගැන කෑගහන්න අවශ්‍ය නැහැ. ඊට අමතරව වෙනත් ආයතන රාජ්‍ය පොදු ප්‍රතිපත්ති ආයතන තිබෙනවා.

අපට ඉදිරියට යාමට නව ආර්ථිකයක් ඇති කර ගැනීමට මේ සියල්ල අවශ්‍යයි. ඒ වගේම ජාතියක් ලෙස ශක්තිමත් වෙමු. සමාජ සාධාරණත්වය ජය ගනිමු.

දකුණු අප්‍රිකානු ජමියතුල් උලමා සංවිධානයේ ලේකම් මවුලානා ඊබ්‍රහිම් ඉස්මයිල් භාම් මහතා,

සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව අන්තර් ආගමික වශයෙන් සියලු ආගමික ජනකොටස් අතර සිය අනන්‍යතාව රැක ගනිමින් සාමූහිකව ජීවත්වීමට අවශ්‍ය උපදෙස් සැපයීමටත්, ජාතීන් අතර සංහිඳියාව සහ එකමුතුකම වර්ධනය කිරීමටත් කැප වී සිටිනවා. එය මෙරට අධ්‍යාපනික, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික සංවර්ධනයට දායකත්වය ලබා දීමත්, ජාතික වශයෙන් වැදගත්වන සියලු අවස්ථාවන්වලට මුස්ලිම් ප්‍රජාවගේ දායකත්වය ලබා දීමේ වගකීමත් මැනවින් අවබෝධ කරගත් විද්වතුන් පිරිසකගෙන් සමන්විත ගෞරවනීය සභාවක් වෙනවා. ජාතිවාද, ආගම්වාද වැනි ජාතික වශයෙන් රටෙහි සංවර්ධනයට සහ අභිවෘද්ධියට බලපෑම් ඇති වන අවස්ථාවන්හිදී මුස්ලිම් ප්‍රජාවට සෙසු ජාතීන් අතර සංහිඳියාව පවත්වා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ද නිරන්තරයෙන්ම ලබා දෙන ජමියතුල් උලමා සභාව ජාතීන් අතර සාමය පවත්වා ගැනීම සඳහා මෙරට මුස්ලිම් ජනසමාජයේ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. ඒ නිසාම සෙසු ජාතීන් අතර ගෞරවයට සහ පැසසුමට භාජනය වී තිබෙනවා.

සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ සභාපති එම්.අයි.එම්. රිස්වි මහතා,

අපේ මව්බිම ශ්‍රී ලංකාවයි. අපේ රටේ හෙට දවස මෙන්ම ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් මෙරට මුස්ලිම්වරුන් පෙනී ඉන්නවා. ඒ වගේම සෑම අවස්ථාවකම රටේ දියුණුව අපේක්ෂා කරනවා. අද වනවිට අපේ රට පත්ව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන සංවර්ධනය වෙනුවෙන් සියලු ජාතීන් එක්ව කටයුතු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම අපි අපේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවැති යුද ගැටුම් මෙන්ම පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වැනි ප්‍රහාර සඳහා යළි වරක් ඉඩ දිය යුතු නැහැ. මෙරට මුස්ලිම්වරුන් එවැනි ත්‍රස්ත ප්‍රහාර අනුමත කරන්නේ නැහැ.

සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ ප්‍රධාන ලේකම් අක්‍රම් නූරම්ත් මහතා,

රටේ ස්වාධිපත්‍යයට, ඒකීයභාවයට සහ සාමයට අහිතකර වන ආකාරයෙන් හැසිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ සඳහා යොමු නොවීමට මුස්ලිම් ප්‍රජාවට තරයේම උපදෙස් සපයනවා. ඉස්ලාමීය අගයන් සහ ඉගැන්වීම් අනුව ජීවත්වන ජන සමාජයේ සහ රටෙහි සංවර්ධනයට දායක වන ආදර්ශවත් මුස්ලිම් ප්‍රජාවක් නිර්මාණය කිරීම ජමියතුල් උලමා සභාවේ ඒකායන අරමුණ වෙනවා යැයි පැවසීය.

පසුගිය කාලය පුරා සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ දියුණුව හා අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ ඒ.ජේ.එම්. ජිෆ්රි හසරත්, ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා, ඉල්ලියාස් අබ්දුල් කරීම් මහත්වරු සහ හිටපු ඇමැතිනී ෆේරියල් අෂ්රොෆ් මහත්මිය ද මෙහිදී සම්මානයට පාත්‍රවූහ. ඊට අමතරව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ සියවස් සැමරුම නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට මෙහිදී සිදු වූ අතර එහි පළමු මුද්දරය සහ මුල්දින කවරය ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, සරත් ෆොන්සේකා, මුජිබර් රහුමාන්, ඉෂාක් රහුමාන්, රවුෆ් හකීම්, හිටපු කථානායක කරු ජයසූරිය, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා ලේක්හවුස් ආයතනයේ සභාපති අනූෂ පැල්පිට, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

More articles

Latest article