34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට හඳුන්වා දිය යුතු බව ජනපති පවසයි

Must read

ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්තවලට හඳුන්වා දිය යුතු බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හතරවන හා පස්වන කාර්මික විප්ලවවල නව කර්මාන්ත තාක්ෂණය හා මුසු වූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්තවලට හඳුන්වා දෙමින් රටේ කාර්මික අධ්‍යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව ජනාධිපතිවරයා කීවේය.

2023 වසරේ අවසන් කාර්තුවේ මෙරට පැවැත්වීමට නියමිත Òනව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයÓ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (25) පස්වරුවේ පැවැත්වුණු අතර, ඊට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙරට විවිධ කර්මාන්ත මේ වන විට පවතින තාක්ෂණික මට්ටමේ සිට නව කාර්මික විප්ලවවල තාක්ෂණයෙන් අනූන වූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය (accelerate) දක්වා ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව හඳුනා ගනිමින් වත්මන් අර්බුදය ජය ගැනීම සඳහා ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම උදෙසා තාක්ෂණය උපයෝගී කර ගැනීම මේ ප්‍රදර්ශනය සංවිධාන කිරීමේ අරමුණයි.

එසේම නවීන තාක්ෂණයත් සමඟ මුසු වෙමින් ශ්‍රී ලංකාව අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම, සේවා සහ අපනයන අංශ වෙත ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට රජයට උපකාර කළ හැකි තත්ත්වයට පත් කිරීම, දේශීය කර්මාන්ත සඳහා උසස්ම ජාත්‍යන්තර භාවිතය ගෙන ඒම සහ කර්මාන්ත ප්‍රමුඛයන් සමඟ ජාලගත කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

සයිබර් භෞතික පද්ධති (Cyber-Physical Systems), අන්තර්ජාල තොරතුරු (Internet of Things), අන්තර්ජාල සේවා (105), රොබෝ විද්‍යාව (Robotics), විශාල දත්ත (Big Data), ක්ලව්ඩ් පරිගණක සහ නිමවුම් (Cloud Computing & Manufacturing), වැඩිදියුණු කළ තථ්‍යතාව (Augmented Reality) කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) වැනි තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරමින් මේ නව ඩිජිටල් ආර්ථිකය ළඟා කර ගැනීම සඳහා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට නවීන තාක්ෂණ මෙවලම් හඳුන්වා දීම ද මේ ප්‍රදර්ශනය මඟින් සිදු කෙරේ.

විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ ඩිජිටල් ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම මඟින් දිවයින පුරා විවිධ සමාජ ස්ථරවලට අයත් ජනකොටස් වෙත ආර්ථික ප්‍රතිලාභ ලබා දීමත්, එමඟින් සමාජය සවිබල ගැන්වීම පිළිබඳවත් මේ සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මේ ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතාගේ සභාපතීත්වයෙන් මුදල්, විදේශ කටයුතු, කර්මාන්ත, අධ්‍යාපන, ප්‍රවාහන, වෙළෙඳ, කෘෂිකර්ම ඇතුළු රේඛීය අමාත්‍යාංශ 13ක නියෝජිතයන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් මඟින් සිදු කිරීමට නියමිතය.

තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ඇතුළු රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරු මෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, වාණිජ මණ්ඩලය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් පිරිසක් මේ සාකච්ඡාවට එක්වූහ.

More articles

Latest article