25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ආචාර්ය පාලිත කොහොන මහතා විසින් චීන ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

Must read

තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා 2021 අප්‍රේල් 14 වැනි දින බීජිං හි මහජන මහා ශාලාවේ දී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ගරු ෂී ජින්පිං මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වීය.

හිටපු තානාපතිවරයා නැවත කැඳවීමේ ලිපිය ද එතුමා විධිමත් ලෙස භාර දුන්නේය. මෙම අක්තපත්‍ර පිළිගැන්වීමත් සමඟ ආචාර්ය කොහොන මහතා චීනයේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස චීන රාජ්‍ය නායකයා විසින් නිල වශයෙන් පිළිගෙන තිබේ.

චීනය කොවිඩ්-19 තර්ජනය බොහෝ දුරට ජයගෙන ඇතත්, මෙම අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව නව ආකෘතියකට අනුව පවත්වන ලදී. අක්තපත්‍ර පිළිගැන්වීමට පෙර තානාපතිවරුන් 30 දෙනෙකු සහ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරයා රාජ්‍ය අමුත්තන්ගේ නිවාසයේ සිට මහජන මහා ශාලාව වෙත චාරිත්‍රානුකූලව කැඳවාගෙන යන ලද අතර, අක්තපත්‍ර පිළිගැන්වීමට පළමුව ඔවුන්ට ගෞරව පිණිස ආචාර පෙළපාලියක් පවත්වන ලදී.

අක්තපත්‍ර පිළිගැනීමෙන් පසුව ජනාධිපති ෂී ජින්පිං මැතිතුමා නව තානාපතිවරුන් අමතමින් පැවසුවේ, වසංගතයේ මුල් අවධියේ දී මිත්‍රශීලී රටවල් විසින් ලබා දුන් සියලු සහාය සඳහා චීනය කෘතඥ වන බවයි. චීනය විසින් සිය කාර්යභාරය ලෙස රටවල් 80 කට අධික සංඛ්‍යාවකට සහ ජාත්‍යන්තර සංවිධානවලට එන්නත් සහ වෙනත් ආධාර ලබා දී ඇත. චීනය එක්සත් ජාතීන්ගේ කේන්ද්‍ර කොටගත් බහුපාර්ශ්වීය පද්ධතිය සහ ලෝක වෙළඳ සංවිධානය පදනම් කරගත් ගෝලීය වෙළඳ පද්ධතිය තහවුරු කරනු ඇත. 14 වැනි පස් අවුරුදු සැලැස්ම මඟින්, චීනය නූතන සමාජවාදී රටක් බවට පත් කරනු ඇත. මිත්‍රත්වය හා සමානාත්මතාවය පදනම් කරගෙන චීනය සිය සබඳතා පවත්වනු ඇත. දේශනය අවසානයේ දී තානාපතිවරු ජනාධිපතිවරයා සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

මීට පෙර ආචාර්ය කොහාන මහතා 2020 දෙසැම්බර් මස මැද භාගයේ දී බීජිං වෙත පැමිණ, මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස සිය රාජකාරි භාර ගත්තේය.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් පසුව තානාපති කාර්යාලයට නැවත පැමිණීමේ දී, තානාපති ආචාර්ය කොහොන මහතා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

More articles

Latest article