33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අහසින් වැටෙන සෑම ජල බිඳුවක්ම ප්‍රයෝජනයට ගත යුතුයි – අගමැති

Must read

පානීය ජල අපහසුතා ඇති පළාත් පාලන ආයතන බල ප්‍රදේශ 35ක පොදු මහ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ජපානයෙන් ආනයනය කරන ලද ඉතා උසස් තත්ත්වයේ ජල බවුසර 35ක් පිරිනැමීමට පියවර ගෙන තිබේ.

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මිලදී ගෙන ඇති මේ බවුසර පළාත් පාලන ආයතන වෙත භාරදීම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදුකෙරිණි.

කොවිඩ්-19 වසංගතය, විදේශ විනිමය අවප්‍රමාණය වීම සහ උද්ධමනය ඉහළයෑම වැනි අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් හමුවේ පවා මේ ජල බවුසරයක් සඳහා රුපියල් මිලියන 14 බැගින් සියලු බවුසර සඳහා රුපියල් මිලියන හාරසිය අනූවක මුදලක් රජය විසින් වියදම් කර තිබේ.

එමෙන්ම මේ ජල බවුසර බෙදා හැරීම සඳහා සැබෑ මහජන අවශ්‍යතාව පිළිබිඹු වන පරිදි නිර්ණායක හතරක් යටතේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් දුන් දත්ත පදනම් කර ගනිමින් මුදල් අමාත්‍යංශය විසින් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කරනු ලැබිය.

ඒ අනුව එම ක්‍රමවේදය පදනම් කර ගනිමින් දිවයිනේ පළාත් හතක් ආවරණය කරමින් දිස්ත්‍රික්ක 15ක පළාත් පාලන ආයතන 35ක් වෙත මේ ජල බවුසර 35 බෙදාහැරීම සිදු කර තිබේ.

උතුරු පළාතේ ඩෙල්ෆ්,වවුනියාව දකුණ, වෙන්ගලචෙට්ටිකුලම්, ප්‍රාදේශීය සභා, නැඟෙනහිර පළාතේ පදවි ශ්‍රී පුර, මොරවැව, ගෝමරන්කඩවල, ප්‍රාදේශිය සභා උතුරු මැද පළාතේ පලාගල, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, මධ්‍යම නුවරගම් පළාත, කහටගස්දිගිලිය, ගලෙන්බිඳුණුවැව, ගල්නෑව සහ රාජාංගනය, වැලිකන්ද ප්‍රාදේශීය සභා වයඹ පළාතේ කරුවලගස්වැව, නවගත්තේගම ප්‍රාදේශීය සභා මධ්‍යම පළාතේ මිනිපේ, අඹන්ගඟ කෝරලේ, ලග්ගල පල්ලේගම සහ විල්ගමුව ප්‍රාදේශීය සභා ඌව පළාතේ බණ්ඩාරවෙල, සොරණාතොට, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභා සහ දකුණු පළාතේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභා සඳහා මේ ජල බවුසර් අගමැතිවරයා විසින් ලබාදීමට පියවර ගනු ලැබීය.

තවද මේ ජල බවුසර නවීන තාක්ෂණයෙන් සමන්විත බැවින් එය භාවිතා කරන රියදුරන්ට හා සහායකයන්ට විධිමත් පුහුණුවක් ද මේ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ දී ඇත.

මෙහිදී අදහස් දැක්වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

පානීය ජලය සැමට ලබාදීමේ ජාතික මානුෂික යුතුකම ලෝකයම පිළිගෙන තිබෙනවා. මිනිසා වගේම සත්ත්වයන් සහ ගහකොළ ජීවත් වන්නේ ජලය මතයි. අපේ ශිෂ්ටාචාරය ජලය මත ගොඩනැගුණු ශිෂ්ටාචාරයක්.

බුදුන් වහන්සේ කැලණි නදියෙන් ස්නානය කර ධර්ම දේශනාවක් පැවැත් වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. කැලණි නදියට තිබෙන ඒ අතිපූජනීය ස්ථානය වගේම මහවැලි කළු වලවේ මෙන්ම තවත් කුඩා ගංගා එකසිය දෙකක් මේ රට පෝෂණය කරනවා. රජය මගින් ගත්තා වූ තීරණයක් අනුව මහාභාණ්ඩාගාරය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඈත එපිට ප්‍රදේශවල පානීය ජලය ලබාගැනීමේ දුෂ්කරතාවන් සහිත පළාත් පාලන ආයතනයන් සහභාගි කර ගනිමින් ජල බවුසර ලබාදීමේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. අද අපි අර්බුදකාරී කාල කාලපරිච්ඡේදයක හිටියත් ජනාධිපතිතුමා ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ ප්‍රකාරව බවුසර් යන්ත්‍ර 35ක් අද අපට බෙදාදීමට හැකියාව ලැබුණා. මේ බවුසර හිමිවන පළාත් සභාවලින් පිටත වුණත් පානීය ජල ගැටලුවකදී බවුසර මගින් ජලය ලබාදීමට තරම් සියලු දෙනා මනුෂ්‍යත්වයෙන් අනූන විය යුතු බව මා සිහිපත් කරනවා. රුපියල් මිලියන පන්සියයකට ආසන්න සම්පත් ජාලාවක් තමයි අද ඔබ අතට පත්වෙන්නේ. පානීය ජලය බලාපොරොත්තුවෙන් සිටින හු‍ෙදකලා වූ ප්‍රදේශ සහ වියළි කලාපයේ සුවිශේෂ වූ ප්‍රදේශ මෙන්ම කාලගුණ විපර්යාස නිසා සිඳී යන ගම් දනව්වලට ජලය දීමට මේ බවුසර් උපරිම ලෙස ප්‍රයෝජනයට ගත යුතුයි. කිසිදු වැහි බින්දුවක් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලාගෙන යන්න ඉඩදෙන්න එපා කියලා මහා පරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශ කළා. ජනාධිපතිගේ පාර්ලිමේන්තු කථාවේදී මේ ප්‍රකාශය ඉස්මතු වුණා.

පානීය ජලය ලබාදීම කෘෂිකර්මාන්තයට ජල විදුලිය නිෂ්පාදනයට ජලය ලබාදීම වගේම අනෙකුත් සියලු ජල අවශ්‍යතා සපුරාලීම පැවති රජයන්වල වගේම අපේ රජයේ වගකීමක්. දැනට අවසන් නොකළ ව්‍යාපෘති ඉක්මනින්ම අවසන් කර ජනතාවට අවශ්‍ය ජල පහසුකම් සැලසීමට අප කැප වී සිටිනවා. උතුරු නැඟෙනහිර සහ අනිකුත් දුෂ්කර ප්‍රදේශවල ජල යෝජනා ක්‍රම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වගේම චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව කාලෙදීත් ඇතිකළා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ ව්‍යාපෘතිය අනුමත කර ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන දීමට කටයුතු කළා.

ඉදිරි සති කිහිපය වැසි වසිනා කාලයයි. මේ මහ පොළොවට ලැබෙන ජලය ආරක්ෂා කරගෙන ප්‍රයෝජනයට ගෙන කෘෂිකර්මයට ප්‍රමුඛත්වය දී ස්වයංපෝෂිත ගම් රටපුරා ඇති කිරීමේ වැඩපිළිවෙළකට අපි යමු.අලුත් අදහස්වලින් පිරුණු අලුත් අභියෝග ජය ගන්නා කාලයකට පිවිසෙන්න සම්පූර්ණ රජය ම කැප වී සිටිනවා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්ද, කෙහෙලිය රඹුක්වැල්ල, නසීර් අහමඩ් සහ විමලවීර දිසානායක, ඩී. වීරසිංහ, අනුරාධ ජයරත්න, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක ශෂීන්ද්‍ර රාජපක්ෂ, කපිල නුවන් අතුකෝරල, කාදර් මස්තාන් මන්ත්‍රීවරුද මේ අවසථාවට සහභාගි වූහ.

More articles

Latest article