34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාවේ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්වනවා – චීන තානාපති

Must read

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තම රට සෑහීමකට පත්වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi shenhong මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi shenhong මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර පෙරේදා (21) අරලියගහ මන්දිරයේ පැවැති හමුවේදී චීන තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

චීනය ද එම අරමුදලේ සාමාජිකයකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බවට තානාපතිවරයා සහතික විය.

චීනය දැනටමත් ශ්‍රී ලංකාවට ඩොලර් 400000 වටිනා ආහාර හා අනෙකුත් මානුෂීය ආධාර ලබාදී තිබෙන බවත් තවත් අවශ්‍ය දේ ඇත්නම් ඊට අදාළ ලැයිස්තුවක් ලබාදෙන්නැයි තානාපතිවරයා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ඉතා ඉහළින් අගය කරන බව පැවැසූ අගමැතිවරයා විශේෂයෙන් වත්මන් ආර්ථික අර්බුදය සමනය කිරීමට ලබා දෙන සහායට ස්තූතිය පළ කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සමුළුවලදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් චීනයේ ස්ථාවරය පිළිබඳව අගමැතිවරයා විශේෂ සඳහනක් කළේය.

දෙරට අතර ඓතිහාසික ද්විපාර්ශ්වික මිතුදමක් පවතින අතර, පවතින තත්ත්වය හමුවේ දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම මෙම හමුවේදී අවධාරණය කෙරුණි.

ආර්ථික ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, වාරිමාර්ග සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන ශ්‍රී ලංකාව පිළිගන්නා බව අගමැතිවරයා පැවසීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත චීන ජාතික දින සැමරුම් උත්සවයට අගමැතිවරයා සිය උපහාර පිරිනැමීය.

මෙම අවස්ථාවට අගමැති ලේකම් අනුර දිසානායක මහතා ද එක්ව සිටියේය.

More articles

Latest article