31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය ගැන කාන්තා උනන්දුව වැඩි වීම ජන ප්‍රගමනයේ වැදගත් ලක්ෂණයක් – අගමැති

Must read

පළාත් පාලන ආයතන කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කළත් ඒ සඳහා කාන්තාවන් ඉදිරිපත් වීම ප්‍රමාණවත් නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

හිටපු ඇමැතිනී ෆේරියල් අෂ්රොෆ් මහත්මිය ඇතුළු පළාත් පාලන මන්ත්‍රීවරියන් හා සක්‍රිය දේශපාලනයේ නියුතු මුස්ලිම් කාන්තාවන්ගේ එකමුතුව සමඟ අගමැති කාර්යාලයේ (29) පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

තවදුරටත් අගමැතිවරයා මෙසේද පැවසීය.

වර්තමානය වන විට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ව්‍යුහය පිළිබඳ කාන්තාවන් මෙතරම් උනන්දුවක් දැක්වීම යහපත් ලක්ෂණයක්. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය පිළිබඳ කාන්තා උනන්දුව වර්ධනය වීම ජන ප්‍රගමනයේ වැදගත් ලක්ෂණයක්. විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන් මැතිවරණවලට සම්බන්ධ වීමට දැඩි උනන්දුවක් දැක්වීම අප ජන සමාජයේ ප්‍රගමනයට තුඩුදෙන ලක්ෂණයක්.

ඉදිරි මැතිවරණවලදී කාන්තා නියෝජනය 25% සිට 50% දක්වා ඉහළ නංවන ලෙස මෙහිදී කාන්තා නියෝජිතවරියෝ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියෝය.

මේ වන විට පළාත් පාලන ආයතන කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කර ඇතත්, ඉදිරි පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණවලදී එය 50 % ක් දක්වා ඉහළ නැංවීම පවතින ආර්ථික වාතාවරණය හමුවේ අත්‍යවශ්‍ය තත්ත්වයක් බව දේශපාලනයේ නියුතු මුස්ලිම් කාන්තා නියෝජිතවරියෝ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ සඳහන් කළෝය.

මැතිවරණ කොමිෂන් සභාව හා දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණ ගත යුතු බව අගමැතිවරයා පැවසීය.

එම උනන්දුව කාන්තාවන් තුළින් වර්ධනය වී ඇති බව පෙන්වා දුන් ෆේරියල් අෂ්රොෆ් මහත්මිය ඉදිරි මැතිවරණ සඳහා සහභාගිවීමට කාන්තාවන් තුළ දැඩි අවශ්‍යතාවක් මතුව ඇති බව කියා සිටියාය.

එසේම කාන්තා නියෝජනය ඉහළ නැංවීම තුළින් මුස්ලිම් කාන්තාවන්ට ද වැඩි අවස්ථාවක් හිමි වන අතර පළාත් පාලන දේශපාලනයේ යෙදෙන කාන්තාවන්ට බිම් මට්ටමේ ජනතාවගේ ගැටලු රැසක් විසඳීම සඳහා අවස්ථාව හිමි වන බව එම කාන්තා නියෝජිතවරියෝ ප්‍රකාශ කළෝය.

මුස්ලිම් ජනතාවගේ පීඩාවන් හඳුනා ගැනීමට සහ ගැටලුවලට විසඳුම් දීමට කාන්තා මුස්ලිම් නියෝජිතවරියන්ට ද වැඩි අවස්ථාවක් උදා කර ගත හැකි බව එම කාන්තාවෝ කියා සිටියෝය.

දේශපාලන වේදිකාවේදී ආගම, ජාතිය අනුව කාන්තා නියෝජනය වෙනස් නොවිය යුතු අතර ආර්ථික අර්බුදය හමුවේ වැඩි පීඩාවකට පත් වන්නේ නිවෙසේ වෙසෙන කාන්තාවන් සහ දරුවන් බව මුස්ලිම් කාන්තා නියෝජිතවරියෝ සඳහන් කළෝය.

මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට කාන්තාවන්ට ලැබෙන අවස්ථාව ඉහළයත්ම මුස්ලිම් ජනගහනය වැඩි ප්‍රදේශවල මුස්ලිම් කාන්තා නියෝජනය ද ඉහළ යන බැවින් සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවන්ට එම අවස්ථාව ලබා දෙන්නැයි හිටපු ඇමැතිනි ෆේරියල් අෂ්රොෆ් මහත්මිය මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියාය.

තරුණ නියෝජනය ඇතුළත කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවස්ථාවක් පවතින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙම හමුව සඳහා යාපනය, ත්‍රිකුණාමලය,අම්පාර, වවුනියාව, පුත්තලම, ගම්පහ කොළඹ ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක පළාත් පාලන ආයතන නියෝජනය කරමින් මුස්ලිම් කාන්තා නියෝජිතවරියෝ පිරිසක් සහභාගී වූහ.

More articles

Latest article