32 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

පැල්පත්වලින් තොර රටක් බිහි කර දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛ අරමුණයි – අගමැති

Must read

පැල්පත්වලින් තොර රටක් බිහි කර දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ, ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ඊයේ (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.

“වෙනසක් නොකරමු, කිසිවකු හෝ කිසි තැනක් අත් නොහැර රැකගනිමු” යන තේමාවෙන් පැවති මෙම උත්සවයේදී නිවාස හිමිකම් ඔප්පු 650ක් ප්‍රදානය කිරීම ද සිදු විය. සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පළමු සඳුදා දිනයේදී ලෝක ජනාවාස දිනය සමරන අතර මෙවර පැවැත්වුණේ එහි 36 වැනි සැමරුමයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

ලෝක ජනාවාස දිනය අර්ථාන්විත බවට පරිවර්තනය වූයේ ශ්‍රී ලංකාවෙන් නැඟුණු හඬ නිසා බව ඉතිහාසයේ සඳහන්ව තිබෙනවා. මෙය සාර්ථක කිරීම සඳහා කෙරෙන වැඩසටහන ජාතික සංවර්ධන වැඩපිළිවෙළටත්, අයවැය වැඩසටහනටත් ඇතුළත් වී තිබෙනවා. අප ජීවත්වන ලෝකයේ ආහාර, නිවාස හා වස්ත්‍රය මිනිස් ජීවිතයක අයිතිවාසිකමක් ලෙස පිළිගනු ලබනවා. එම මනුෂ්‍යත්වයේ අයිතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා සෑම රටක්ම උත්සාහය දරනවා. එක්සත්ව කටයුතු කළ හැකි ක්‍රියාමාර්ගයක් බවට ජනාවාස වැඩසටහන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පිළිගනු ලැබ තිබෙනවා. එහි ආරම්භක ක්‍රියාදාමයට ශ්‍රී ලංකාවේ අගමැතිවරයෙකු වූ ආර්. ප්‍රේමදාස මැතිතුමා එවකට නිවාස ඇමැතිවරයා ලෙස ගත් පියවර ලොවම පිළිගත්තා. එහි අරමුණ වූයේ ලොව පුරා නිවසක් නැති සෑම පවුලකටම නිවසක බලාපොරොත්තුව ඉටු කර ගත හැකි දවස උදා කිරීමයි. ඒ වෙනුවෙන් ජාත්‍යන්තරව හා දේශීයව සැකසුණු ආයතන රාශියක් විවිධ රටවල බිහිවුණා. අපේ රටේ ද සංස්ථා, දෙපාර්තමේන්තු, ආයතන බිහිවී තිබෙනවා. සුවිශේෂීව නාගරිකව වෙසෙන ජනතාවට පහසුකම් ලබා ගැනීමේ අයිතිය තිබෙනවා. ඒ අතරට නිවාසය, නිවාසවල ජීවත්වන ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂාව සහ දරුවන්ගේ අධ්‍යාපනය අයත් වෙනවා. කොළඹ නගරයේ පමණක් සම්පූර්ණ පහසුකම් නොමැති වතු 1200ක් තිබෙනවා. ජනාවාස ගැටලු ජයගැනීමට ජනාධිපතිවරයාගේ ලෝක ජනාවාස දින පණිවිඩයෙන් ස්ථාවර ප්‍රතිඥාවක් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එම ගැටලු කඩිනමින් විසඳන්නට පියවර ගන්නවා. විශේෂයෙන් ඒ සඳහා සුවිශේෂ වැඩසටහනක් මෙවර අයවැයෙන් ද ප්‍රකාශයට පත් කරනවා. එම වැඩසටහන ක්‍රියාත්මක කරවාගැනීමේ මාර්ගය සකස් කර ගැනීමට අපි කැප විය යුතුයි. බොහෝ තැන්වල තාවකාලික නිවාසවල සිටින දහස් ගණන් ජනතාව ජීවත්වන්නේ අනාරක්ෂිතවයි. පැල්පතින් තොර නගරයක් බිහිකිරීමේ අභිලාෂයට ගමන් කරන්න, ස්ථිර අධිෂ්ඨානයෙන් ජනාවාස වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනාවා. ඒ වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ පැල්පත් සහිත ප්‍රදේශ මහා නිවාස සංකීර්ණ බවට පත් කිරීම සඳහා දැවැන්ත ආයෝජන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මෙවැනි කටයුතු සඳහා විශාල ආයෝජනයක් අවශ්‍යයි. ආයෝජකයන් පැමිණෙන්නේ රටක ආදායම් මාර්ග සුරක්ෂිත නම් පමණයි. රජයේ ආදායම් වැඩිවෙනවා නම් රජය මේ සුවිශේෂ ප්‍රශ්නවලට වෙන් කරන ආයෝජන තවත් වැඩිකරනවා.

අධිෂ්ඨානයෙන් වැඩ කරමින් ඒ ඉලක්කය කරා ගමන් කරන්න අවශ්‍යයි.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා –

කොවිඩ් ව්‍යවසනයෙන් වැටුණු ආර්ථිකය, සමාජ සංවර්ධනය ගොඩනඟන්නට රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටියත් ඊනියා අරගලකරුවන් ඇවිත් අපේ රට ආර්ථික වශයෙනුත්, සමාජීය වශයෙනුත් පමණක් නොව, ජාත්‍යන්තර වශයෙනුත් විනාශයට පත් කළා. ඒ අරගලයෙන් ලැබුණු දේ මොනවද? අමාරුවෙන් ගොඩනඟාගත් ආර්ථිකය බිමටම වැටුණා. ජාත්‍යන්තරව අපිට තිබුණු කීර්තිය නැත්තටම නැති කළා.

යුද්ධය කාලේ මෙරටට පැමිණි ලක්ෂ 4ක් 5ක් පමණ වුණු සංචාරකයින් ප්‍රමාණය යුද්ධය අවසන් වීමත් සමඟ ලක්ෂ 25 ඉක්මවා ගියා. ආර්ථිකය ගොඩ නඟන්න එය ඉවහල් වුණා. භාණ්ඩ අපනයනය කිරීම හරහා ආදායම් ඉපයුවා. මේ දේවල් ක්‍රමානුකූලව සංවර්ධනය කරගෙන යන විට කොවිඩ් වසංගතය නිසා සංචාරකයින් පැමිණීම නතර වුණා. විදේශ රැකියාවල නියුතු වූවන්ට රැකියා අහිමි වුණා. අපනයන සීමා කරන්න වුණා. මේ දේවල් නිසා ආර්ථික අපහසුතා ඇතිවුණා. මෙයින් ගොඩඑන්න සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු වෙනවා. මේ සඳහා අමාත්‍යාංශය ලෙස අප සැලසුම් සකස් කර තිබෙනවා. විදෙස් මුදල් හිඟයට පිළියමක් ලෙස විදේශ රටවල සේවය කරන අයට විශේෂ වට්ටමකට ඩොලර්වලින් නිවාස මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීලා තියෙනවා. රට සංවර්ධනය කරනවාත් සමඟම අඩු පහසුකම් සහිත පුද්ගලයින් සඳහා නිවාස සකසා දීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබුණා. ඒ සියලුම දේවල් යම්තාක් දුරට පසුබෑමකට ලක්වුණත් ලබන වර්ෂය වන විට එක ගමකට එක නිවසක් කියන වැඩසටහන නැවත ක්‍රියාත්මක කරනවා. ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරනවා. ජනාවාස දිනය නිමිත්තෙන් පැවැත්වෙන මේ දිනයේදී එක්ව නැඟිටින්න අදිටන් කර ගනිමු.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ ලෝක ජනාවාස දින පණිවිඩය රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා විසින් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ලෝක ජනාවාස දින පණිවිඩය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා මානව ජනාවාස වැඩසටහනෙහි මෙරට ප්‍රධානී ලක්ෂ්මන් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදි.

ලෝක ජනාවාස දින සැමරුමට සමඟාමීව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය එක්ව නාගරික ජනාවාසවල ජනතාව වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ළමා චිත්‍ර, කෙටි චිත්‍රපට හා ගෙවතු වගා තරඟවල ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැතිවරුන් වන තේණුක විදානගමගේ හා අරුන්දික ප්‍රනාන්දු, අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් රත්නායක, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් පෙරේරා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සූරියාරච්චි, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.

More articles

Latest article