32 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

චක්‍රලේඛ මත ක්‍රියාත්මක සැලසුම්වලට වඩා ජනතාවට අවශ්‍ය ප්‍රායෝගික විසඳුම් – අගමැති

Must read

ජනතාවට අවශ්‍ය වන්නේ චක්‍රලේඛ මත ක්‍රියාත්මක සැලසුම්වලට වඩා ප්‍රායෝගික විසඳුම් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය ඊයේ (05) සංවිධානය කළ පළාත් පාලනය සහ නායකත්වය පිළිබඳ ගෝලීය අභියෝග පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජනතාවට අවශ්‍යව ඇත්තේ සංකීර්ණ සැලසුම් නොව ක්ෂණිකව ප්‍රතිලාභ ලැබිය හැකි ප්‍රතිඵල බවත් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ජනතා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් සැපයීම පළාත් පාලන මට්ටමේ ජනතා නියෝජිතයන්ගේ මූලික වගකීම බවත් අගමැතිවරයා කීවේය.

පළාත් පාලන මට්ටමේ තොරතුරු තාක්ෂණ දැනුම වර්තමානයේ දී අත්‍යවශ්‍යම වන අතර, එය ගමට ගෙන යාම රජයේ අභිලාෂය බව පැවසූ අගමැතිවරයා ලොව ජයග්‍රහණය කිරීමට නම් තොරතුරු තාක්ෂණය ගමට ගෙන යාම වේගවත් කළ යුතුව තිබෙන බව කියා සිටියේය.

පළාත් පාලන නියෝජිතයන් තොරතුරු තාක්ෂණය ගමට ගෙන යාම සම්බන්ධයෙන් වේගවත්ව සහ අවබෝධයෙන් කටයුතු කළ යුතු කාලය එළැඹ ඇතැයි ද ගුණවර්ධන මහතා කීවේය.

ග්‍රාමීය මට්ටමේ පාලනය රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ පටන් රටේ ස්ථාපිත වුව ද එය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බවත් අනුරාධපුර යුගයේ පවා ග්‍රාමීය පාලන ව්‍යුහයක් පැවති බවට ඉතිහාසය සාක්ෂි දරන බවත් අගමැතිවරයා පැවසීය.

මෙය අදට ගැළපෙන පරිදි වැඩිදියුණු කිරීමේ අභියෝගය පළාත් පාලන නියෝජිතයන් වෙත පැවරෙන බව පැවැසූ හෙතෙම ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සැපයීම රජය ක්‍රියාත්මක කරන සෑම වැඩපිළිවෙළකම මූලික පරමාර්ථය බ‍ව සඳහන් කළේය.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ සභාපති සූරතිස්ස දිසානායක මහතා, පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

More articles

Latest article