26 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලයේ සහාය

Must read

පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ශක්තිමත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලයේ සහාය ලබා දෙන බව පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) මහ ලේකම්, ස්ටීවන් ට්විග්ස් මහතා පැවසීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා අතර අරලියගහ මන්දිරයේ පෙරේදා (11) පැවැති හමුවේ දී ස්ටීවන් ට්විග්ස් මහතා මේ බව සඳහන් කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහි මෑත කාලීන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඔහු සිය දැඩි කනස්සල්ල පළ කළ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා CPA වෙතින් සහාය ලබා දෙන බව ඒ මහතා කීවේය.

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා ලබා දෙන පුහුණු වැඩසටහන්වලට පළාත් පාලන ආයතනවල සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලය ඇතුළත් කිරීමට හුවමාරු සහ පුහුණු වැඩසටහන් පුළුල් කරන ලෙස අගමැතිවරයා කළ ඉල්ලීම පිළිබඳව සොයා බැලීමට ද ඔහු එකඟ විය.

විශ්වවිද්‍යාල සිසුන්ට කෙටි කාලයකට ග්‍රාමීය ප්‍රදේශවලට ගොස් ග්‍රාමීය පාසල්වල ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට උපකාර කිරීම සඳහා එක්සත් රාජධානියේ සීමාවාසික පුහුණුව යළි ආරම්භ කිරීම සඳහා සහාය වන ලෙස ද අගමැතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය.

වසර 91කට පෙර සර්වජන ඡන්ද බලය හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ වෙස්ට්මිනිස්ටර් ආකාරයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වීම පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා දැනුම්වත් කළ අගමැති ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ස්තුතිය පළ කළේය.

ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව පිළිබඳව ඔහු නියෝජිත පිරිසට කරුණු දැක්වූ අතර යෝජිත විශ්වවිද්‍යාලයට පොදුරාජ්‍ය මණ්ඩලයේ නිල ප්‍රඥප්තිය යටතේ සහාය ලබා දෙන්නේ කෙසේදැයි තමා සොයා බලන බව මහලේකම්වරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහ පළාත් පාලන ආයතනවල කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සඳහා යෝජිත ප්‍රතිසංශෝධන වැඩසටහන් පිළිබඳව ද අගමැතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

මෙම හමුව සඳහා අගමැති ලේකම් අනුර දිසානායක, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ උපාය මාර්ග සහ නියැළීමේ ප්‍රධානී එමිලි ඩේවිස් සහ පාර්ලිමේන්තු වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

More articles

Latest article