34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

තේ කර්මාන්තයෙන් විශාල විදේශ විනිමයක් අපේ රටට උපයා ගත හැකියි – අගමැති

Must read

තේ කර්මාන්තය තුළින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ගාල්ල නගරයේ ස්ථාපනය කළ Ministry Of Tea නම් තේ නිෂ්පාදන අලෙවි පරිශ්‍රය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට පසුගිය (14) වැනිදා එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මුළු මහත් තේ කර්මාන්තයටත්, අපනයන ක්ෂේත්‍රයටත් ගාල්ල Ministry Of Tea පරිශ්‍රය මහත් රුකුලක් ලබා දෙනවා. ලෝකයේ විවිධ රසැති තේ වර්ග තිබුණ ද, සිලෝන් ටී රසයට සුවිශේෂ තැනක් තිබෙනවා.

තේ කර්මාන්තය අපේ රට විශේෂයෙන් ආදායම් ලබන ක්ෂේත්‍රයක්. සිලෝන් ටී කියන නාමය ලොවට ගෙන ගියේ අපේ තේ කර්මාන්තයයි. අද ලෝකයේ වෙනත් තේ වර්ග තිබෙන බව සත්‍යයක්. සිලෝන් ටීවලට සුවිශේෂ රසයක් තිබෙන බව සොයමින් ලෝකේ හැම රටකම ජනතාව එය භුක්ති විඳිමින්, සොයමින් සිටිනවා. පසුගිය කාලපරිච්ඡේදවලට වඩා අපනයන ක්ෂේත්‍රයේ පමණක් නොව තේ කර්මාන්තයත් විවිධත්වයකට පරිවර්තනය වෙමින් තිබෙනවා.

පවතින අභියෝග ජයගන්න අපේ ව්‍යාපාරික පැලැන්තියට මෙම මධ්‍යස්ථානය දායකත්වයක් සහ සුවිශේෂ ස්ථානයක් බවට පත් වෙනවා ඇති. ගාල්ල පළමුවෙන්ම විදේශිකයන් සතු වුණේ පෘතුගීසින් අතටයි. පසුව ලන්දේසීන් ගාලු කොටුව ඉදිකළා. ලන්දේසීන් උනන්දුවකින් ගාලු කොටුව ඉදි කිරීමට කටයුතු කළා.

පෘතුගීසින් ඉවත් වන විට ඔවුන්ගේ කෞතුකාගාරය අරගෙන ගියා. එය නාවික කටයුතු පිළිබඳ ප්‍රධාන කෞතුකාගාරයක්. එය බ්‍රසීලයේ දැන් ස්ථාපිත කර තිබෙනවා. බ්‍රසීලය එය දැනටත් ආරක්ෂා කර ගෙන සිටින්නේ නාවික ආදී යුද තොරතුරු එහි තිබෙන නිසයි.

ගාලු පුරවරයේ ගොඩනැඟුණු තේ, රබර්, පොල් විවිධ ආකාරයේ වැවිලි ක්ෂේත්‍ර දියුණු කරන්නට ආණ්ඩුව වගේම පුද්ගලික අංශයත් ඉදිරිපත් වුණා.

ලෝකයේ කෝපිවලට අතිරේකව ඊළඟට ඉල්ලන්නෙත් තේ. තේ පමණක් ඉල්ලන ආපණශාලා විශාල ප්‍රමාණයක් ලෝකයේ බොහෝ රටවල්වල තියෙනවා. ඒ නිසා තේ ඉල්ලුම සපයන්න විශාල රුකුලක් මෙම මධ්‍යස්ථානය මඟින් ඉදිරියටත් ඉටු වෙනවා ඇති.

මේ ධෛර්යය මුළු මහත් තේ කර්මාන්තයටත් අපනයන ක්ෂේත්‍රයටත් ලබා දෙන අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන්. බොහෝ විට මේ අලුත් පරිච්ඡේදයක මූලික ආරම්භය විය හැකියි.

තේ රසවින්දනය විවිධාකාරයෙන් ලබා ගැනීම සඳහා සොයා එන අයට මෙවැනි මධ්‍යස්ථානයකින් සිලෝන් ටී ලබා ගත හැකිවීම අපේ රටට ආඩම්බරයක්. ගාලු පුරවරය සංචාරක පුරවරයක් නිසා අපෙන් යන පණිවිඩය ලෝකය පුරා ගමන් කරනවා. විවිධ රසැති තේ සොයන විශාල පිරිසක් ලෝකය පුරා සිටිනවා.

අපේ රටේ තේ කර්මාන්තයටත් එය අලෙවි කිරීම සඳහාත් ජාත්‍යන්තර ප්‍රචාරණය සඳහාත් නිර්මාණශීලීව සිදු කළ මේ ක්‍රියාදාමය අගය කළ යුතුයි.

වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, ඉසුරු දොඩන්ගොඩ, යදාමිණි ගුණවර්ධන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

More articles

Latest article