29 C
Colombo
බදාදා, මැයි 22, 2024

පාසල් – සෞඛ්‍ය – ආරක්ෂක නිල ඇඳුම් සැපයීමේ වගකීම දේශීය නිෂ්පාදකයාට දෙනවා – අගමැති

Must read

අලුතින් ස්ථාපිත කළ පුහුණු මධ්‍යස්ථාන ඔස්සේ නව්‍යකරණය වූ දේශීය රෙදිපිළි හා බතික් කලාවක් බිහිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (9) පැවසීය.

දිවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟලුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය යටතේ සංකේතාත්මකව විවෘත කරමින් අගමැතිවරයා එසේ කියා සිටියේය.

බතික් අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ මේ සමාරම්භක උත්සවය පැවැත්විණි.

මෙයට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර ඇසළ ක්‍රීඩාංගණය අසල පිහිටි පුහුණු මධ්‍යස්ථානය විවෘත කීරීම සංකේතාත්මකව සිදු විය.

බතික් පුහුණු නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ වාර්තාමය වැඩසටහනක්ද සමාරම්භක උත්සවයට සමගාමීව විකාශය කෙරිණි.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“අපේ රටට වර්ණවත් සංස්කෘතියක් වගේම වර්ණවත් ඉතිහාසයක් තිබෙනවා. අපි විවිධ ජන කණ්ඩායම් හා ආගම්වලින් පෝෂණය වුණ රටක්. අපේ මිනිසුන්ගේ සිතුම් පැතුම්, ජීවන රටා, විලාසිතා ගත්තත් බොහෝම වර්ණවත්. මේ සංස්කෘතියට මේ වර්ණ එකතු කරන කලාවන් කිහිපයක් අපි දකිනවා. දේශීය ඇඟලුම් වගේම බතික් කලාවත් ඒ අතර තිබෙන බවයි අපි විශ්වාස කරන්නෙ.‍

එදා විවෘත ආර්ථිකය අපේ රටට හඳුන්වා දෙන්න කලින් මේ අත් යන්ත්‍ර රෙදිපිළිවලට විශාල පිළිගැනීමක් තිබුණා. හැබැයි විවෘත ආර්ථිකය හඳුන්වලා දීපු දවසෙ ඉඳන් පිටරට රෙදිපිළිවලට දොරටු විවර වුණා. මේ නිසා සිදු වූ අභාග්‍ය සම්පන්න දේ තමයි අපේ දේශීය ආර්ථිකයට පණ දෙන්න තිබුණ කර්මාන්ත ශාලා ටික වැහිලා ගිය එක.

තුල්හිරියෙ පෙහෙ කම්හල වගේ මුළු රටටම රෙදිපිළි දීපු තැන් වැහිලා ගියා. එදා විවෘත ආර්ථිකය අපේ රටට හඳුන්වල දෙනකොට දේශීය දේ රැක ගන්න වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. දශක ගණනාවක් අපි එහි ප්‍රතිවිපාක වින්දා. ඒ නිසා අදත් අපි දේශීය නිෂ්පාදන ඉහළ දැමීම හා ඒ නිෂ්පාදනකරුවන් රැක ගැනීමේ අභියෝගයට මුහුණ දෙනවා.

අත් යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ දියුණුව පැවති ඒ ස්වර්ණමය යුගය නැවත ගොඩ නඟන්න තමයි අපි ඒ වෙනුවෙන් වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පවා හැදුවේ. ඒ අමාත්‍යාංශයට දයාසිරි වගේ ඇමැතිවරයෙක් පත් කළෙත් ලොකු විශ්වාසයකින්. දයාසිරි රාජ්‍ය ඇමැතිවරයා වගේම මේ අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් මේ වෙනුවෙන් ලොකු වෙහෙසක් ගන්න බව අපි දන්නවා.

රාජ්‍ය සේවකයන්ට දේශීය රෙදිපිළිවලින් මහපු ඇඳුම් අන්දවන්නත් ලොකු වෙහෙසක් ගත්තා. මට මතකයි සතියට එක දවසක් බතික් ඇඳුමින් සැරසෙන දවසක් ලෙස පවා නම් කළා. මේ දේවල් කොවිඩ් එක්ක යටපත් වුණත් සමාජයට ඒ දේවල්වලින් දෙන පණිවිඩය වැදගත් බව සිහිපත් කරන්න ඕන.

ඒ විතරක් නෙමෙයි, වෙසක් එකට බතික් කූඩු හැදුණා. අලුත් අවුරුදු උදාවට බතික් ඇඳුම් අදින්න ජනතාව උනන්දු කෙරෙව්වා. ජනතාවත් ඒවාට කැමත්තෙන්ම සම්බන්ධ වෙනවා අපි දැක්කා. පසුගිය දවසේ අත් යන්ත්‍ර රෙදිවලින් කඨින චීවරයක් පවා නිර්මාණය කරලා සමාජයේ මේ ගැන තියෙන උනන්දුව වැඩි කළා. මේ හැමදේම එක්ක රටේ බතික් ඇඳුම් අදින රැල්ලක්, බතික් සැරසිලි කරන රැල්ලක් ඇති වුණ බව අපි දන්නවා.

ජනාධිපතිවරයා, මේ විධියට අමාත්‍යාංශ වෙන් කරලා, විෂය වෙන වෙනම දෙනකොට එදා විශාල චෝදනා එල්ල වුණා. අකමැති වුණා. අද ඒ දේවල් නිවැරැදි ලෙස සමාජය පරිවර්තනය කරන්න හේතුවෙලා කියලා අපට විශ්වාසයෙන් කියන්න පුළුවන්.

අපි බලයට ආවම දේශීය කර්මාන්ත නඟා සිටුවන්න විශාල අවධානයක් යොමු කරනවා. ඇතැම් කාලවල මේ කර්මාන්ත දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. මේවයින් යැපෙන ජනතාව ගැන හොයලා බැලුවේ නෑ. ඒ විතරක් නෙමෙයි රටක් විධියට ලෝකෙට යන්න තියෙන අවස්ථා අහිමි කරලා දේශීය රෙදිපිළි කර්මාන්තය වළ පල්ලටම ඇදල දාලයි තිබුණේ.

එහෙම තිබුණ කර්මාන්තයක් තමයි අපි මේ නැවත පණ ගහල අරගෙන ලොව ජය ගන්න තැනට කටයුතු කරන්නෙ. ඒ සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙළක් තියෙනවා. අද රට පුරා බතික් හා දේශීය ඇඟලුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් බිහි කරන්නෙත් ඒ වැඩපිළිවෙළේ කොටසක් විධියට කියලයි ඇමැතිවරයා මා සමඟ කිව්වේ.

මේ කර්මාන්ත නවීන ලෝකයට ගැළපෙන විධියට අන්තර්ජාතික තලයට රැගෙන යන්න නම් අපි ගුණාත්මක මෙන්ම තරගකාරි නිෂ්පාදන කරන්න අවශ්‍යයයි. අපි අනිත් රටවල්වලට වඩා වෙනස් වෙන්නෙ ඇයි කියලා පෙන්වන්න ඕන. ඒ අභියෝගයට මුහුණ දෙන එක හිතන තරම් ලේසි පහසු නැහැ.

අපේ රටෙන් ගිලිහිලා යන්න ගිය මේ කර්මාන්තය මෙහෙම හරි රැක ගත්තේ සාම්ප්‍රදායිකව මේ කර්මාන්තයේ රැඳී සිටි ඉතා සුළු පිරිසක්. ඒ අය කුමන බාධා ආවත් ඒවා විඳ දරාගෙන මේ තරමටවත් මේ කර්මාන්තය රැකගෙන ඉදිරියට ආවා. ඔවුන්ව අමතක නොකර, අපි ඔවුන් ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා මේ කර්මාන්තය ගැන නවීන දැනුමින් ඔවුන්ව සන්නද්ධ කරලා, නව නිර්මාණකරුවන් පිරිසක් බිහි කරන්නත් අද මේ ඇරැඹෙන පුහුණු මධ්‍යස්ථානවලින් හැකිවෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ඉදිරියේදී කර්මාන්තය සඳහා රට තුළ විශාල වටිනාකමක් නිර්මාණය කිරීමට අපි වගබලා ගන්නවා. පාසල්, සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල නිල ඇඳුම් පවා සැපයීමේ වැඩි වගකීම් කොටසක් අපි දේශීය නිෂ්පාදකයන්ට භාර කරනවා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය ආයතනවලට අවශ්‍ය බතික් ඇතුළු දේශීය රෙදිපිළි අදාළ ආයතනය පිහිටි පළාතේ දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගන්න යන්ත්‍රණයක් දැනටමත් අපි හඳුන්වා දී තිබෙනවා. මට මතක විධියට අපේ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ කැබිනට්ටුවට ඉදිරිපත් කරපු යෝජනාවට ඒ සඳහා අනුමැතිය ලැබුණා.

විශේෂයෙන් අත් යන්ත්‍ර හා බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදනයට ඇති බාධා ඉවත් කරන්න අපට හැකි වුණා. අපේ රටේ රෙදි පිළිවෙළට සංචාරකයන්ගේ විශාල ආකර්ෂණයක් තිබෙනවා. මේ කර්මාන්තය අන්තර්ජාතික තලයට ගෙනියන්නත් එය හොඳ මාවතක්.

ඒ නිසා මේ හැමදේටම සරිලන නව්‍යකරණය වූ දේශීය රෙදිපිළි හා බතික් කලාවක් මේ පුහුණු සහ නිෂ්පාදන මධ්‍යස්ථානවලින් බිහිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.

නිෂ්පාදනය කරන ඇඳුම් පැලඳුම්වලට ගුණාත්මක නිමාවක් දීම වගේම, පරිසර හිතකාමීව ඒවා ඉටු කරන ආකාරය පුහුණු කිරීමත් අත්‍යවශ්‍යයයි. අපේ දරුවන් මේවා නිවැරැදි ආකාරයට ඉගෙන ගැනීමෙන් අනාගතයේ දවසක ඔවුන්ට මේ ක්ෂේත්‍රයේම ව්‍යවසායකයන් ලෙස ඉදිරියට ඒමට හැකියාව ලැබෙනවා. ඒ වගේම පරිසර හානිය පවා අවම කර ගෙන නිෂ්පාදන කටයුතු මෙහෙයවන ආකාරය දැනගැනීම රටේ අනාගත යහපැවැත්මට ඉතා වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.”

මේ අවස්ථාවට බතික් අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, බතික් අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, අතිරේක ලේකම් (පාලන) ඩී. නන්දනී සමරවික්‍රම, අතිරේක ලේකම් (සංවර්ධන) සුජීවා ජී පල්ලියගුරුගේ, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන, ලංකා සළුසල සභාපති ඩෙන්සිල් පෙරේරා, ලක්සල සභාපති ලක්මාල් වික්‍රමාරච්චි, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රනාන්දු, ලක්සල අධ්‍යක්ෂ කැලුම් ජයවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු ආයතන ප්‍රධානීහු කිහිප දෙනෙක් එක්ව සිටියහ.

More articles

Latest article