29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

මා බරපතළ තීන්දු සාර්ථක කරගත් විට ලැබුණු හැම සතුටකටම වඩා වැඩි නිරාමිස සතුටක් මේ සෑය වඳිද්දී අත්විඳිනවා – අගමැති

Must read

ලේ ගංගා නතර කර, මරණ බිය නැති කර, අපේ රට අභයභූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ සඳහිරු සෑය හදා ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ කිසිදාක එවැනි සිදුවීම් සිදු නොවේවා කියා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේ ඉදි කළ සඳහිරු සෑය බුදු සසුනට පූජා කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට එක්වෙමිනි.

30 වසරක රුදුරු ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය බේරා ගැනීමට දිවි හිමියෙන් කැප වූ රණවිරුවන් ස්මරණය කිරීමට ඉදි කළ සඳහිරු චෛත්‍යය ජනතාවගේ වන්දනාමාන කටයුතුවලට විවෘත කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අගමැතිවරයා, අපි ඉතිහාසය පුරාම යුද පිටියේ ජයග්‍රහණය ලැබුවේ දස්කම් නිර්භීතකම් නිසාම පමණක් නොවෙයි. මේ රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා ඓතිහාසිකව අපට හඳුන්වා දීපු උදාර මානුෂීය සම්ප්‍රදායන් ඉතිහාසය පුරාම වගේම අදත් අපි අනුගමනය කරන නිසා යැයිද කීය.

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ රණවිරුවන් සිහි කොට පින් පැමිණවීම, ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ට ආශිර්වාද කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සලකුණු කිරීමේ අරමුණින් පස්වන විධායක ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් ලෙස එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් “සඳහිරු සෑය” ඉදිකරනු ලැබීය. ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ ගිහි පැවිදි සැදැහැවත්හු ඊට මූල්‍ය හා ශ්‍රමය පරිත්‍යාග කළහ.

2010.11.22 වැනි දින “සඳහිරු සෑයේ” ඉදිකිරීම් ඇරඹුණු අතර 2014.11.22 දින ධාතු නිදානෝත්සවය සිදු කෙරිණි.

ජය පිරිත් සජ්ඣායනා, දේව ආරාධනා, හේවිසි හඬ මධ්‍යයේ “සඳහිරු සෑ රඳුන්ගේ” ඵලකය සහ කොත් වහන්සේ නිරාවරණය ජනාධිපති සහ අගමැති අතින් සිදු විය.

මහා සංඝරත්නය සහ ප්‍රධාන ආරාධිතයෝ ප්‍රධාන වාහල්කඩ පිළිම වහන්සේ අබියස හා විහාර මන්දිරයේ දී මල් සහ සුවඳ දුම් පූජා කළහ.

එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

‘‘රණවිරුවන්ගේ දෑතින්ම ගොඩනඟපු මේ මහා සෑය රණවිරුවන් නාමයෙන් ලෝකයාට වැඳුම් පිදුම් කිරීමට පිරිනමන මේ අවස්ථාවට මම සහභාගි වෙන්නේ ඉතාම උද්දාමයෙන් බව කියන්න ඕනෑ. ඉතාම බරපතළ තීන්දු රට වෙනුවෙන් අරගෙන ඒවා සාර්ථක කරගත් අවස්ථාවල මම අප්‍රමාණ සතුටක් භුක්ති විඳලා තිබෙනවා. ඒ අවස්ථාවලදී ලැබුණු සතුටට වඩා වැඩි නිරාමිස සතුටක් මේ මහා පුණ්‍යකර්මය සම්පූර්ණ කරන මොහොතේ භුක්ති විඳින බව මම කියන්න ඕනෑ.

දොරේඅප්පා නගරාධිපතිගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්න ගිහින් මන්නාරමේදී ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරි බස්තියන් පිල්ලේගේ, 1981 යාපනයේ දී ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක් වූ කෝප්‍රල් හේවාවසම්ගේ සිට නන්දිකඩාල්වල අවසාන දිනයේ මියගිය සෙබළා දක්වා සියලු රණවිරුවන්ට සහ අපේ රටට සාමය උදා කරන්න කැප කිරීම් කළ සියලු රණවිරුවන්ටත් ඒ වගේම යුද්ධයේදී මිය ගිය සියලු පාර්ශ්වයන්ටත් මේ සෑය නමදින මොහොතක් පාසා පින් අනුමෝදන් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.‍ මියගිය සියලු දෙනා අපේම රටේ අපේම අය.

අපි ඉතිහාසය පුරා යුද පිටියේ ජයග්‍රහණය ලැබුවේ දස්කම් නිර්භීතකම් නිසාම පමණක් නොවෙයි. මේ රට එක්සේසත් කරපු දුටුගැමුණු මහ රජතුමා ඓතිහාසිකව අපට හඳුන්වා දීපු උදාර මානුෂීය සම්ප්‍රදායන් ඉතිහාසය පුරාම වගේම අදත් අපි අනුගමනය කරන නිසයි.

අපි එදා වගේම අදත් යුද්ධ කළේ නිදහස සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් පමණයි. දුටුගැමුණු රජතුමා කිව්වා “මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව, බුදු දහමේ චිරස්ථිතියත් ජාතියේ ආරක්ෂාවත් පිණිසයි” කියලා. එදා යුද්ධ කර අවසාන වුණ වහාම ආයුධ අතහැරියා. සතුරාගෙත් නිදහසේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කළා. ඒ වගේම කාටත් සමාව දී සියලු වේදනා අමතක කළා.

යුද්දෙ ඉවර වුණාම කොටු පවුරු බැන්දෙ නෑ. බැන්දේ මහා වැව්, බැන්දෙ දාගැබ්. අපිත් කළේ එහෙමයි.

යුද්දෙ ඉවරවුණු ගමන්ම අපි රණවිරුවන් වෙනුවෙන් රණවිරු මහා සෑයක් හදන්න මුල් ගල තිබ්බා. මට මතකයි ඇතැම් සේනාංක යුද්දෙ ඉවර වුණු ගමන්ම කාලතුවක්කු උණ්ඩ තළලා ඒවායින් බුදු පිළිම හදලා පූජා කළා. දස දහස් ගණන් ද්‍රවිඩ තරුණයන් පුනරුත්ථාපනය කර නිදහස් කළා.

මේ සෑය විවෘත කරන මොහොතේ අපේ රටේ එදා තිබුණු මරණ බිය ගැන මතක් කරන්න ඕනෑ. 1984 ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්, කෝකිලායිවලට ගහලා 91ක් මරලා අපේ ඓතිහාසික රාජධානිවල ගම්වලට මරණ බය ගෙනාවා. එයින් පස්සේ අපේ රටේ මායිම් ගම්මාන කියා ජාතියක් ලංකා සිතියමට එකතු වුණා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටවපු නිසා මේ පළාතට කිව්වේ “පිහිටි රට” කියලා. වැඩිකල් නොගිහින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුලටත් ඒ මරණ බය ගෙනාවා. එදා ශ්‍රී මහා බෝධිය ළඟ සිල් ගත්තු උපාසක උපාසිකාවෝ 120ක් ඝාතනය කර යන ගමන් විල්පත්තුවේ ගම්මානවල 81ක් ඝාතනය කරගෙනයි ත්‍රස්තවාදීන් ගියේ. ඊළඟට ත්‍රිකුණාමලය, මොරවැව, මහදිවුල් වැව, මැදිරිගිරිය, පල්ලිය ගොඩැල්ල, හොරොව්පතාන, ජානකපුර, ජයන්තිපුර, වැලිඔය, අම්පාර, උහන, කල්මුණේ, සියඹලාණ්ඩුව, මොරවැව වාගේම මොනරාගල සීමාවේ ඇතිමලේ දක්වාම ගම්වල මිනිසුන්ව කැති ගහලා මරා දැම්මා.

කොළඹ බස් නැවතුමෙන් පටන් අරන් මහ බැංකුවේ, දෙහිවල දුම්රිය පොළේ බෝම්බ පුපුරවලා පටන් ගත්ත ගමන 2009 දී දකුණේ මාතර අකුරැස්සෙත් බෝම්බ පුපුරවලා පිරිසක් මරා දැමූ බව ඔබට මතක ඇති.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වගෙම සෑම ජනාධිපතිවරයෙකුම මේ ප්‍රශ්නය විසඳා ගන්න උත්සාහ කළා. ජේ.ආර්. ජයවර්ධන තිම්පුවල වට මේසේ සාකච්ඡා පැවැත්වූවා මතක ඇති. පලක් වුණේ නැති නිසා ජේ.ආර්. ඉන්දු – ලංකා ගිවිසුමක් ගහලා ඉන්දියානු හමුදාව ගෙනල්ලා උතුර භාර දුන්නා. අපේ හමුදා බැරැක්කවලට සීමා කළා. හමුදාව කඳවුරෙන් එළියට යනවා නම් ඉන්දියන් හමුදාවෙන් අවසර ගන්න තැනට පත් කළා. මේ කවුරුත් එදා අපේ ත්‍රිවිධ හමුදාව ගැන, එහි ශක්තිය ගැන විශ්වාස කළේ නෑ.

එයින් පස්සේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිගේ කාලේ ගුවනින් කොටි නායකයන් කොළඹට ගෙනල්ලා සාකච්ඡා කළ බව ඔබට මතක ඇති. පොලිසියේ 800ක් යටත් කරවා පාවා දුන්නා. ඒ විතරක් නොවෙයි එල්ටීටීඊයට ආයුධ පවා දුන්නා. ඒ ආයුධත් අන්තිමට එසවුණේ අපේ සෙබළුන්ටමයි. අවසානයේදී ආර්. ප්‍රේමදාස මහතාවත් මහ මඟ මරා දැම්මා.

ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලෙ සුදු නෙළුම, තවලම වාගේ වැඩසටහන් කර ඔස්ලෝ නුවර ගිහින් මේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්න සාකච්ඡා කළා. මට මතකයි ඒ කාලේ රණවිරුවන් කියන වචනය අයින් කළා. රණවිරුවන්ට රජයේ ආරක්ෂක සෙබළුන් කියන වචනය පාවිච්චි කළා. රණවිරුවන්ට ගරු කිරීම සාමයට බාධාවක් කියලයි හිතුවේ. නමුත් එතුමියටත් බෝම්බ ගැහුවා. බෝම්බ ගහලා එතුමියවත් අඩපණ කළා.

ඊළඟට ආවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලේ. එල්ටීටීඊය එක්ක සාකච්ඡා කර සටන් විරාම ගිවිසුමකට එතුමා ගියා. එල්ටීටීඊ පාලනයට වෙනම ප්‍රදේශ වෙන් කර දුන්නා. නෝර්වේ රාජ්‍යය සටන් විරාම ගිවිසුමේ නිරීක්ෂකයන් හැටියට පත් කළා. අපේ හමුදාව කඳවුරුවලට සීමා කළා. ත්‍රස්තවාදීන් කඳවුරු ඉදිරියට ඇවිත් උසුළුවිසුළු කරන කොට අපේ සෙබළුන්ට ඒ නින්දාවල් උසුලාගෙන ඉන්න වුණු බව ඔබ දන්නවා. මේ කාටවත් අපේ ආරක්ෂක හමුදා ගැන විශ්වාසයක් තිබුණේ නෑ.

මට මතකයි අගමැති හැටියට මම උතුරට යන්න හදනකොට උතුරට යන්න නම් එල්ටීටීඊයේ අවසර ගන්න ඕනෑයි කියා නෝර්වේ සටන් විරාම නිරීක්ෂකයෝ මට කීවා. රටක එහා මෙහා යන්න අගමැතිටත් අවසර ගන්න වෙනවා නම් ඒක වෙනම රටක් නේ.

මම එදා හිතුවා කාගෙන්වත් අවසර අරගෙන මගෙ රටේ යන්න මට ඕනෑ නෑ. කවදාහරි නිදහසේ මම උතුරට යනවා කියා මම එදා කිව්වා.

අපේ රටේ ජනතාවගේ දරුවන්ගෙන් හැදුණු ආරක්ෂක හමුදාව ගැන ලොකු විශ්වාසයක් අපට තිබුණා. එවකට ආරක්ෂක ලේකම් හැටියට කටයුතු කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. එතුමා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ ද සහාය ඇතිව ආරක්ෂක අංශය නිවැරැදිව මෙහෙයවමින් රටට සාමය උරුම කිරීමේ වගකීම ඉටුකිරීමට දායක වුණා.

රටක ආරක්ෂක හමුදාව ගැන විශ්වාසය නැතිනම් ඒ රටේ ජාතික ආරක්ෂාව අහිමි වෙනවා කියලයි හැමෝම විශ්වාස කරන්නේ. ඒ වගේමයි අපේ හමුදාව අමතක කර විදෙස් හමුදා, විදෙස් මැදිහත්වීම්වලට ඉඩ දුන්නා නම් තවමත් අපේ රටේ ලේ ගලා යනවා.

මේ සඳහිරු සෑයෙන් සිහිපත් කරන රණවිරුවන් ඉටුකළ මානුෂීය මෙහෙවර මෙතෙක් අපේ ඉතිහාසයේ නිදහස සඳහා කළ සියලු යුද්ධවලට වඩා ඉතා අසීරු එකක් කියලයි මම හිතන්නේ. මට මතකයි එල්.ටී.ටී.ඊ.යට එරෙහිව යුද්ධය පටන් ගන්න කලින් මම එංගලන්තයේ එවකට සිටි අගමැතිවරයා හමුවුණ මොහොත.

එල්ටීටීඊය නිරායුධ කර රටට සාමය ගේන්න ඕනෑ බව මම කිව්වාම ඔහු කිව්වා ඒක කරන්න පුළුවන් කියලා එයා නම් හිතන්නේ නෑ කියලා. ඒකට කාරණා කීපයක් එතුමා මට කිව්වා. එතුමා එදා කිව්වා දැනටමත් මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙනිහින් ඉවරයි.

සටන් විරාම ගිවිසුමක් ගහලා ඊට ජාත්‍යන්තර වශයෙන් රටවල් රාශියක් මැදිහත් කරගෙන ඉවරයි. දැන් එයින් ගැලවෙන්න අපිට බෑ කියලා. දෙවැනි කාරණය හැටියට කිව්වේ දැනටමත් එල්.ටී.ටී.ඊයට වෙනම පාලන ප්‍රදේශ තියෙනවා, වෙනම බැංකු තියෙනවා, වෙනම මුදල් තිබෙනවා. වෙනම පරිපාලන ක්‍රමයක් තිබෙනවා, ඒවා කරන තුරු අපේ ආණ්ඩු බලාගෙන ඉඳලා තිබෙනවා. දැන් ඒවාට කරන්න දෙයක් නෑ කියා කිව්වා.

ඊළඟට එල්ටීටීඊයට මරාගෙන මැරෙන සටන්කරුවො ඉන්නවා. මිසයිල, කාලතුවක්කු තිබෙනවා. නැව්, ප්‍රහාරක නාවික යාත්‍රා, ගුවන් යානාත් තිබෙනවා. ඒවාට මුහුණ දෙන්න ඔබට පුළුවන්ද කියන ප්‍රශ්නය මගෙන් එංගලන්ත අගමැතිවරයා එදා ඇහුවා.

ලෝකෙම එහෙම කියද්දිත් අපේම ජනතාවගේ දරුවන් වූ අපේ රණවිරුවො ගැන අපට ලොකු විශ්වාසයක් තිබුණා. අපේ රණවිරුවෝ කළේ අසමසම කැප කිරීමක්. අපි එදා ලෝක බලවතුන් අත්සන් කළ සටන් විරාම ගිවිසුම ඉරා දැම්මා. අපේ රණවිරුවන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබුණු යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් දැන් ඉවත් වෙලා තිබෙනවා. අපි දන්නවා මේවායේ බලපෑම දැන් අපිට එරෙහිව එනවා කියලා. නමුත් අපිට සියල්ලට වඩා වටින්නේ අපේ නිදහස.

තමන් ජීවත් වන බිමේ නිදහස බුදුහාමුදුරුවොත් අගය කළා නේද හාමුදුරුවනේ. කැට කුරුල්ලා කියන පුංචිම කුරුල්ලාටත් ඌට උරුමයෙන් ලැබුණු කැදැල්ලේ නිදහසේ ජීවත් වෙන්න අයිතිය තිබෙනවා. ගොවියො පස පෙරළන කොට, ඒ පස් පිඩැල්ල යට තිබෙන පුංචි ඉඩේ තමයි කැට කුරුල්ලා ඉන්නේ. කැට කුරුල්ලා එළිමහනේ ඉන්නකොට ඌව අල්ලගන්න උකුස්සො, ගිජුලිහිණියන් වේගයෙන් පියාසර කරගෙන පොළොවට එනවා. නමුත් කැට කුරුල්ලා පස් පිඩැල්ල යට තිබෙන පුංචි ඉඩේ තිබෙන කූඩුවට ගියාම ඌව අල්ලන්න ගිජුලිහිණියාටත් බෑ. උපන් බිමේ ආරක්ෂාවත් නිදහසත් ඒ වගෙයි.

අපේ රට මොන තරම් පුංචි වුණත් අපටත් අපේ රටේ ජීවත් වෙන්න නිදහස තිබෙන්න ඕනෑ. අපේ රටේ නිදහස වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ජීවිත පරිත්‍යාගයෙන් රණවිරුවන් අපට උරුම කළ නිදහසත් රැක ගැනීම, අපේ නායකයොත් අනාගතේ පහළ වන නායකයොත් භාර ගන්න ඕනෑ බව සඳහිරු සෑය හමුවේ මම ඉල්ලා සිටිනවා.ඔබ සැමට තෙරුවන් සරණයි!’’

සඳහිරු සෑ රදුන් ඉදිකිරීමේදී කළ මෙහෙය ඇගයීමට ලක් කරමින් ත්‍රිවිධ හමුදා සේනාංක වෙත ජනාධිපතිතුමා අතින් තිළිණ සහ සහතික පත්ද පිරිනැමිණ.

ත්‍රෛනිකායික මහානායක, අනුනායක නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කථානායක, විපක්ෂ නායක, කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රණවිරු පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

More articles

Latest article