29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබමින් වසර 2022දී විශේෂ ප්‍රගතියක් අත් කර ගත යුතුයි – අගමැති

Must read

පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කරමින් රාජ්‍ය ආයතන 2022 වසරේදී විශේෂ ප්‍රගතියක් අත් කර ගත යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

සියලු රාජ්‍ය ආයතන ලබන වසරේදී විශේෂ ප්‍රගතියක් අත්කර ගත යුතු බවත් මේ වන විට පාඩු ලබන ආයතන ලබන වසරේදී ලාභ ලබන ආයතන ලෙස පරිවර්තනය කර ගැනීම කෙරෙහි ද සියලු නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් අරලියගහ මන්දිරයේ ඉකුත්දා (26) පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා කියා සිටියේය.

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන්හි තෙවන කාර්තුව සඳහා වූ ප්‍රගති සමාලෝචනයට එක්වෙමින් අගමැතිවරයා එසේ සඳහන් කළේය.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී අරමුණ පැහැදිලි කළ අතර අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා දැනට ලබා ඇති සමස්ත ප්‍රගතිය සාරංශගත කර ඉදිරිපත් කළේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සීමාසහිත ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව, ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සහ ඕෂන්වීව් සංවර්ධන පෞද්ගලික සමාගමට අයත් ප්‍රගතිය පිළිබඳ ඒ ඒ ආයතන ප්‍රධානීහු අගමැතිවරයා දැනුම්වත් කළහ.

අඩක් නිම කරන ලද නිවාස 72000න් තව දුරටත් වැඩ නිම කළ යුතු නිවාස 40723ක් සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 500 බැගින් ප්‍රතිපාදන ලබා ගැනීම, මාදුළුවාවේ සෝභිත නා හිමි ගම ඉතිරි නිවාස 31 හා අත්‍යවශ්‍ය වැඩ නිම කිරීමට රුපියල් මිලියන 112ක් ප්‍රතිපාදන ලබා ගැනීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති මෙන්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ලබා ගත් ණය මුදල් සඳහා අදාළ බැංකුවලින් යම් සහනයක් ගැනීම ඇතුළු කරුණු රැසක් මෙම හමුවේදී අවධානයට යොමු විය.

මෙම අභියෝගාත්මක කාලයේ වැඩ අඩපණ වීමට ඉඩ නොදිය යුතු බව කී අගමැතිවරයා සාකච්ඡා මාර්ගයෙන් කඩිනම්ව අවශ්‍ය තීරණ ගෙන නීත්‍යනුකූලව අදාළ කාර්යයන් නිසි පරිදි අවසන් කිරීමට කටයුතු කළ යුතු යැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉදි කිරීම් සඳහා ආනයන කරන අමුද්‍රව්‍යවල තත්ත්වය නිවැරදි විය යුතු බවත් නිවැරදි තත්ත්වයෙන් යුතු අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ආනයනකරුවන්ට මඟපෙන්වීම වැදගත් බවත් අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

පසුගිය යහපාලන රජය ගෙන ගිය අදුරදර්ශී වැඩපිළිවෙළ සමඟ පාඩු ලබන තත්ත්වයට පත්ව තිබූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ වන විට ලාභ ලබන තත්ත්වය දක්වා පැමිණෙමින් තිබෙන බව මෙහිදී හෙළි විණි. මෙයට අමතරව යහපාලන ආණ්ඩුව අයතු ලෙස භාණ්ඩ බෙදා දීම නිසා විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයට පත්කර තිබූ ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව විෂය භාර ඇමැති, අගමැතිවරයාගේත්, රාජ්‍ය ඇමැතිවරයාගේ හා නිලධාරීන්ගේත් කැපවීම මත අද වන විට ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව ද මෙහි දී අනාවරණය විය.

පසුගිය ආණ්ඩුව යටතේ නවතා දැමූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමෙන් භාණ්ඩාගාරය මඟින් වැටුප් ගෙවමින් තිබු ආයතන රැසක් මේ වන විට භාණ්ඩාගාරයට බරක් නොවී ලාභ ලබමින් පවත්වාගෙන යන බව ආයතන ප්‍රධානීහු අදහස් දක්වමින් පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම්.ඒ.එස්.කේ ගුණවර්ධන, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.දුමින්ද සිල්වා, ගොඩනැඟිලි දෙපාර්ත්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම් ඉස්මයිල්, රජයේ කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.පී වතුගේ, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය එන්.ටී.එස් විජේසේකර, ඉංජිනේරු සංස්ථාවේ සභාපති ආර්. කළුපහන, යන්ත්‍රෝපකරණ ආයතනයේ සභාපති භාග්‍ය ජයතිලක, ඕෂන් වීව් සංවර්ධන පුද්ගලික සමාගමේ සභාපති මහින්ද සෙනවිරත්න, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කළුතන්ත්‍රි, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස්.යූ. චන්ද්‍රකුමරන්, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ. විමලජීව, නිවාස හා යටිතල පහසුකම් ව්‍යාපෘති අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.ඒ.එම්.ඩී රාජපක්ෂ, ආර්.එස්.මදුරප්පෙරුම මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

More articles

Latest article