27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

රට වෙනුවෙන් ජනප්‍රිය තීන්දු වෙනුවට අසීරු තීන්දු ගන්න වෙන්නේ දේශපාලන අනාගතය උකස් තියලා – අගමැති

Must read

විකල්ප පත්තරකාරයන් විදිහට මරණ වරෙන්තුවත් බෝල්පොයින්ට් පෑනත් විතරයි එදා අපට තිබුණේ
– ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම
දේශපාලන අනාගතය උකස් තියා රට වෙනුවෙන් තීන්දු තීරණ ගනිද්දී මෙරට මාධ්‍ය රට වෙනුවෙන් ඉතාම වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි තමන් හිතන බව ‘ඇසිදිසි රක්ෂණාවරණ’ ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) පැවසීය.

මෙවැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන්නේ මාධ්‍යවේදීන්ගේ අනාගතය ගැන සිතා බවත් රජය මාධ්‍යවේදීන්ගේ අනාගතය සුරක්ෂිත කරන විට මාධ්‍යවේදීන් රටේ සුරක්ෂිත අනාගතයකට කැප වෙයි කියා තමන් විශ්වාස කරන බවත් අගමැතිවරයා පවසා සිටියේය. ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමනු ලබන ‘ඇසිදිසි රක්ෂණාවරණය’ ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට අරලියගහ මන්දිරයේදී ඊයේ එක් වෙමින් රාජපක්ෂ මහතා එසේ කියා සිටියේය.

”මාධ්‍යට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍ය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි. ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලයි මට හිතෙන්නේ” යැයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

එහිදී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

”වෘත්තීය වශයෙන් නීතිඥවරු ඇරුණාම මම වැඩිපුරම සමීප වුණේ මාධ්‍යවේදීන්ට. මට මතකයි එදා, මම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට එනකොට එදා ජනාධිපතිවරිය කිව්වා ඔන්න රිපෝටර් එනවා කියලා. මම කිව්වා මම රිපෝටර් නෙවෙයි, එඩිටර් කියලා. මම පත්තරවලට තොරතුරු දුන්නේ සංස්කරණය කරලා. පක්ෂයටවත්, මටවත් හානි නොවන විදියට. ඒ නිසායි මම කිව්වේ මම එඩිටර් කියලා.

”මාධ්‍යයට භීෂණය එල්ල වුණ හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා. සමහර කාලවල මාධ්‍යවේදීන්ගේ අතේ කහ නූල් බැඳලා අපි ඔවුන් එක්ක ඉන්න බව කිව්වා. දේශපාලන මැරයෝ ගහලා, මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ කඩා දැම්මාම, අපි මාධ්‍යවේදීන්ට ඒවා අරන් දුන්නා. 88/89 භීෂණ යුගයේ රිචඩ් ද සොයිසා දකුණට ඇවිත් දකුණේ අපිත් එක්ක වැඩ කළා.

“මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්. අපි මාධ්‍යයට ශක්තියක් වුණොත් මාධ්‍ය අපව ශක්තිමත් කරනවා. අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ. මාධ්‍යයට යමක් හංගන්න හංගන්න රටේ ජනතාවට ඒ ගැන තියෙන උනන්දුව වැඩියි. හංගන්න හංගන්න හැදෙන බොරු කතා වැඩියි. අද පාර්ලිමේන්තු සංවාද රූපවාහිනියෙන් විකාශය වෙනවා. හැබැයි කවුරුවත් ඒවා බලන්නේ නෑ. මොකද ඒක විවෘත නිසා. අද කැබිනට් එකට විතරයි මාධ්‍යවේදීන් යන්නේ නැත්තේ. ඒ නිසාම කැබිනට්ටුවේ වුණ දේවල් කියලා අමුතු අමුතු කතා ගොඩනැඟෙනවා. ඒක තමයි මාධ්‍යයේ හැටි.

“අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපත් එක්ක හිටියා. අපව බලයට ගේන්න මාධ්‍යවේදීන් ලොකු සේවයක් කළා. නමුත් දැන් අපි චෝදනා කරනවා මාධ්‍ය දැන් අපිත් එක්ක නෑ කියලා. මේක අමුතු දෙයක් නෙවෙයි. අපේ ජීවිත කාලය තුළ අපි අත්දුටු දෙයක්. මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍ය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි. ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා.

“හැමදාම ආණ්ඩු මාධ්‍යයට කළ චෝදනාවක් තමයි ආණ්ඩුවේ සංවර්ධන කටයුතු මාධ්‍යයේ දාන්නේ නෑ කියලා. රටේ වෙන හොඳ දේවල් පත්තරවල දාන්නේ නෑ කියන චෝදනාව හැමදාම තිබුණා. අපට නෙවෙයි අනගාරික ධර්මපාලතුමාටත් ඒ ප්‍රශ්නෙ තිබුණා. එතුමා වතාවක් කිව්වා “රටේ කොපමණ හොඳ දේ වුණත් ඒවා පත්තරවල පළ වෙන්නේ නෑ. කරොංචි හාමි නොන්නො හාමිට පිහියෙන් ඇන්නොත් මේකා ඒක පත්තරේ මුල් පිටුවේම දමාපි” කියලා. ධර්මපාලතුමා එහෙම චෝදනා කළා. ඒ නිසා මාධ්‍යවේදීන්ට දොස් කියලා වැඩක් නෑ. ඒ කාලෙ ඉඳලාම මාධ්‍යවල හැටි තමයි ඒ.

“ජනතාවත් එහෙමයි. රූපවාහිනී ප්‍රවෘත්තිවල සංවර්ධන පුවත් කියලා හෙඩිම කියපු ගමන් ප්‍රේක්ෂකයො නාට්‍යයක් බලන්න වෙන චැනල් එකකට මාරු වෙනවා. මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට, මේක තේරෙනවා. අපට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මේවා ඉතාම සාමාන්‍ය දේවල් හැටියට අපි භාර ගන්න ඕනෑ. අපිට විතරක් නොවෙයි, ලෝකයත් අද මාධ්‍ය නිසා කැලඹිලා.

“මට මතකයි කොරෝනා වසංගතය ආව දවස්වල සමාජ මාධ්‍යවල ගිය දේවල්. මේක රටක ලැබ් එකක හදාපු වයිරසයක් කිව්වා. බලවත්ම රටවල් ඒ ඒ රටවලට චෝදනා කර ගන්න තරමට සමාජ මාධ්‍යවල මේ ප්‍රචාර බලවත් වුණා. ඊට පස්සේ කොරෝනාවලට අලුතින් සොයා ගත්ත එන්නත ගැන නොයෙක් ප්‍රචාර ගෙනිච්චා. අපේ රටේ විතරක් නෙවෙයි දියුණු රටවලත් තරුණයෝ ඉන්ජෙක්ෂන් ගහගන්න ආවේ නෑ. ඒවා සමාජ මාධ්‍යවලින් යවපු ප්‍රචාර නිසා ලෝකෙ මුහුණ දීපු දේවල්. අන්තිමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විශේෂඥයෝ කිව්වා වසංගතයට වඩා දරුණුයි කියලා තොරතුරු වසංගතය. ඒගොල්ලො මේකට කිව්වා ‘ඉන්ෆොඩෙමික්’ (Infodemic) කියලා. මේ තොරතුරු වසංගතේට ලෝකෙ යට වෙලා කියලා ඒගොල්ලන්ටත් පිළිගන්න වුණා.

“අපේ රටටත් මේ ‘ඉන්ෆොඩෙමික්’ එක ආවා. කොරෝනාවලට එන්නත ගන්න අපි උත්සාහ කරනකොට එන්නත වේලපහ ගෙන්නා ගත්තේ නැත්තේ අපේ වරදයි කිව්වා. එන්නත ගෙන්නුවහම ෆයිසර් ගෙන්වන්න පුළුවන්කම තියෙද්දී අපි ලාභෙට චීන එන්නත ගෙනාවා කීවා. චීන එන්නත ගහල වැඩක් නෑ කිව්වා. සමහරු කිව්වා මොඩර්නා තමයි හොඳ, ඒකම ගේන්න කියලා. මේ සෙල්ලම් කළේ රටේ ජීවිතත් එක්ක.

“ඊට පස්සේ ගෙයක් ගානේ කොරෝනා මරණ වෙනවා කියලා විශාල භීතියක් ඇති කළා. දොස්තරලා කියන ගානට වඩා මැරෙන ගාන වැඩියි කිව්වා. අන්තිමට රට වහන්න, විසඳුම ඒකයි කියලා බල කළා. රට වැහුවේ නැතොත් ස්වයං ලොක්ඩවුන් කර ගන්නවා කිව්වා. රට වහලා අපි ඇඟලුම් කර්මාන්තශාලා විවෘත කරලා තිබ්බා. ඒක වැහුවේ නැතොත් ඇඟලුම් පොකුරක් එයි කිව්වා. ඒ තරමට රට වහන්න බල කරපු උදවිය ඊළඟට දහස් ගණන් අරගෙන පාරේ පෙළපාළි ගියා. ඒ මහා ආර්ථික විනාසෙ කරලා දැන් රට ඇරියාම කියනවා රට බංකොළොත් කියලා. මේ තමයි තොරතුරු වාර්තා වුණ විදිය.

“මාධ්‍යයට මේවා නොපෙන්වා බෑ. වාර්තා නොකර ඉන්න බෑ. හැබැයි මාධ්‍යයට නොතේරී මාධ්‍යයෙන් ප්‍රයෝජන ගන්නත් රටට එරෙහි බලවේගවලට පුළුවන් වෙලා තියෙනවා. මේවා රටට ආදරේ, වගකීමක් ඇති මාධ්‍ය තේරුම් ගන්න ඕනෑ.

“මේ රටේ මාධ්‍යවේදීන් තේරුම් ගත යුතු තවත් දෙයක් තියෙනවා. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා. යුද්ධ කරන කාලේ ඉඳන්ම අපට ඒ අත්දැකීම් තියෙනවා. අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න උත්සාහ කරනවා. එදා යුද්ධෙදි මැරුණු සන්නද්ධ ත්‍රස්තවාදීන්ව ජාත්‍යන්තරයට පෙන්නුවේ අහිංසක දෙමළ ජනතාව කියලයි. ඒ දේවල් යොදාගෙන යුද මෙහෙයුම් නතර කරන්න උත්සාහ කළා.

“තමුන්නාන්සේලාට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුණ ගමන්ම මේ රටේ එක්තරා තානාපති කාර්යාලයක රස්සාව කළ කාන්තාවක් තමන්ව පැහැරගෙන ගියා කියලා ලොකු සිද්ධියක් මැව්වා. ආරක්ෂක අංශවලින් පැහැරගෙන ගියා කියලා මහා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. ජනාධිපති වුණු ගමන්ම මෙහෙම වුණාම මේ රටේ තානාපති කාර්යාල හැම එකක්ම ලොකුවට කලබල වුණා. සමහර රටවල් ඇයගේ ආරක්ෂාව තහවුරු කරනු කියලා නිවේදන පවා නිකුත් කළා. අපිට ලෝකෙට උත්තර දෙන්න සිද්ධ වෙන සිද්ධියක් මැව්වා.

“නමුත් රටේ හොඳ වෙලාවට ඒ කාන්තාව ඒ දවසේ ආගිය හැම තැනක් ගැනම සීසීටීවී කැමරාවල තිබුණා. සී.අයි.ඩී. එක අපක්ෂපාතීව පරීක්ෂණය කළා. අන්තිමට ඒ සිද්ධිය බොරු මවාපෑමක් බව ලෝකෙටම ඔප්පු කරගන්න අපිට පුළුවන් වුණා. හැබැයි ඒක බොරුවක් බව ඔප්පු වුණාම අපිට විරුද්ධව චෝදනා කළ අය කනගාටුවවත් පළ කළේ නෑ.

“මේවායින් අපි තේරුම් ගන්න ඕනෑ මොකක්ද? මේ රටේ ජනතාවගේ නිදහස, රටේ අයිතිය උදුරා ගන්න සූක්ෂ්මව කටයුතු කරන බලවේග මාධ්‍ය වාසියට ගන්නවා. ජනප්‍රිය තීන්දු වෙනුවට අමාරු, අසීරු තීන්දු ගන්න වෙන යුගයකට තමයි අපේ ආණ්ඩුව දැන් පත්වෙලා ඉන්නේ. ඒ අමාරු තීන්දු ගන්න අපි සූදානම්.”

මෙහිදී ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා‍ මෙසේ පැවසීය.

“අගමැතිතුමනි, මම විකල්ප පත්තරකාරයෙක් විදිහට අද මේ අවස්ථාව හඳුනගන්නේ ප්‍රතිපත්ති සම්පාදකයෙක්ට වඩා වැඩි බරකින්. ජීවිත ආරක්ෂාව කියන එක උප ශීර්ෂයක් විදිහට පාවිච්චි කරපු පත්තරකාරයෙක් විදිහට ජීවිත රක්ෂණය කියන එක උප ශිර්ෂයක් ලෙස පාවිච්චි කරපු යුගයක විකල්ප පත්තරකාරයෙක් විදිහට අපි එදා කටයුතු කළේ ජනතාව වෙනුවෙන් වගකීම්සහගත මාධ්‍ය කලාවක් කියන දේ ශීර්ෂ පාඨය කරගන්න ජීවිත ආරක්ෂණය උප ශිර්ෂය කරගෙන.

“එය ඉතා දිගු ඉතිහාසයක් නෙමෙයි. අපි විකල්ප පත්තරකාරයෝ විදිහට දින රහිත මරණ වරෙන්තුවත් බෝල්පොයින්ට් පෑනත් විතරයි අපේ සන්තකයේ තිබුණේ.

“එදා අපට ජීවිත ආරක්ෂාව, ජීවිත රක්ෂණය සැපවූයේ ලක්ෂ සංඛ්‍යාත පාඨකයෝ. ඒ බෝල්පොයින් පෑන අතට ගත්තු අපේ වෘත්තීය සගයෝ. ඒ පාර්ශ්ව දෙකට අමතරව දේශපාලන නායකයෝ හතර දෙනෙක් මහා ප්‍රාකාරයක් විදිහට ඒ අඳුරු සෙවණැලි පත්තර පිටු මත වැටිච්ච යුගයේ අපේ ආරක්ෂාව වෙනුවෙන් හිටගත්තා.

“එදා සුනිල් මාධව ප්‍රමුඛ එක විකල්ප පත්තරයක්, සුනන්ද දේශප්‍රිය ප්‍රම්‍රඛ තව විකල්ප පත්තරයක් ආණ්ඩුවේ ගොරෝසු පිළිවෙතට අභියෝග කරන වෙලාවේ අගමැතිතුමනි, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට ඔබතුමත් තවත් තිදෙනකුත් නිරන්තරයෙන් සුනිල් මාධව ප්‍රමුඛ අප ගැනත් සුනන්ද දේශප්‍රිය ප්‍රමුඛ යුක්තිය කණ්ඩායම ගැනත් හොයා බැලුවා. අපිට ආදරය රැකවරණය දුන්නා.

“අද රාජ්‍යයක වගකීම ඉෂ්ට කරමින් මේ රටේ වෘත්තීය මාධ්‍යවේදීන්ට ඇසිදිසි රක්ෂණය ප්‍රදානය කරන වෙලාවේ ඔබතුමාට ඒ ගෞරවය ප්‍රදානය කරමින් ප්‍රථම වතාවටයි වේදිකාවක මට ඒ ගැන ජනමාධ්‍ය වෘත්තියට සම්බන්ධ කෙනෙක් විදිහට මතක් කරන්න ලැබුණේ..

“මම කෘතවේදීව සිහිපත් කරනවා අනිත් තිදෙනාව. අවාසනාවකට ඒ තිදෙනාම අද ජීවතුන් අතර නෑ. එක්කෙනෙක් මංගල සමරවීර. අනිත් කෙනා ගාමිණි දිසානායක. අනිත් කෙනා ලලිත් ඇතුළත්මුදලි. මේ දේශපාලනඥයන් තිදෙනා තමයි මහින්ද රාජපක්ෂ කියන විපක්ෂයේ සටන්කාමී, නිර්භීත දේශපාලනඥයාට අමතරව එදා අපට ජීවිත රක්ෂණාවරණය වෙනුවෙන් පෙනී සිටියේ.”

මේ අවස්ථාවට ඇමැතිවරුන් වන ඩලස් අලහප්පෙරුම, කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, සොෆ්ට්ලොජික් සමූහයේ නිලධාරීහු, මාධ්‍ය ආයතන හිමිකරුවෝ, මාධ්‍ය නාලිකා ප්‍රධානීහු, පුවත්පත් කතුවරු, වෙබ් අඩවි මාධ්‍යවේදීහු සහ රක්ෂණලාභීහු සමඟ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීහු රැසක් එක්ව සිටියහ.

More articles

Latest article