27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

පොළොන්නරුවේ සොළොස්මස්ථානවල සංවර්ධන කටයුතු කඩිනම් කරන්න – අගමැති

Must read

පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති, අගමැති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවති අවස්ථාවේ අගමැතිවරයා එසේ දැනුම් දුන්නේය.

සොළොස්මස්ථාන පූජා භූමිය විදුලියෙන් ආලෝකමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක මහනුවර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරාධිපති හා පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පෙන්වා දුන්හ.

ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා වෙත දැනුම් දුන් අගමැතිවරයා ලබන වසරේ මැයි මාසයේ සිට පූජා භූමිය ආලෝකකරණයේ විදුලි බිල මධ්‍යම සංස්කෘතික අරමුදලින් ගෙවන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාට උපදෙස් දුන්නේය.

දෙස් විදෙස් සංචාරකයන්ට සහ වන්දනාකරුවන්ට පූජා භූමිය තුළ පහසුවෙන් ගමන් කිරීමට හැකි වන ලෙස පූජා භූමිය ඇතුළත මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් දෙමින් අගමැතිවරයා පූජා භූමි සංවර්ධන සැලසුම කෙරෙහි සිය විශේෂ අවධානය යොමු කළේය.

මනම්පිටියේ වැලි ගොඩදැමීමෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් යටතේ ඇති අරමුදලට ලැබෙන ආදායමෙන් කොටසක් පූජා භූමි සංවර්ධනයට ලබාදෙන ලෙස රාජපක්ෂ මහතා මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතාට දැනුම් දුන්නේය.

පූජා භූමියේ සිදුකරන ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහය ලබාදෙන ලෙස මෙහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළහ.

ඉදිරියේ පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කර අවශ්‍ය පියවර ගන්නා බව අගමැතිවරයා පැවසීය.

ඉදිරි වසර 05 සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් ශ්‍රී ලංකාවේ පූජා භූමි සංවර්ධනයට ලැබෙන බැවින් එම මුදලින් යම් කොටසක් සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු සඳහා යොදන බව අගමැති ලේකම් ගාමිණී සෙනෙරත් මහතා මෙහිදී දැනුම් දුන්නේය.

පොළොන්නරුව සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු සඳහා මුල පිරුවේ අගමැතිවරයා ජනාධිපතිවරයාව සිටියදී බව පෙන්වා දුන් රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා පසුගිය ආණ්ඩු කාලයේ ඒ සියලු කටයුතු නැවතී තිබුණු බව සඳහන් කළේය.

සොළොස්මස්ථාන පූජා භූමියේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු අධික්ෂණය කරන ලෙස අගමැතිවරයා විසින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මෙහිදී උපදෙස් දුන්නේය.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, මහනුවර ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරාධිපති, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමි සහ පොළොන්නරුව ගල්විහාර භාරකාර පූජ්‍ය කන්දනැටියේ අත්ථදස්සී හිමි මෙහි වැඩම කර සිටියහ.

මෙම අවස්ථාවට ඇමැති චමල් රාජපක්ෂ, රාජ්‍ය ඇමැතිවරුන් වන රොෂාන් රණසිංහ, විදුර වික්‍රමනායක, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ, පොළොන්නරුව මහා නගර සභාවේ නගරාධිපති චානක සිදත් රණසිංහ, අගමැති ලේකම් ගාමිණී සෙනරත්, අමාත්‍යාංශ ලේකම්වරුන් වන මහාචාර්ය කපිල ගුණවර්ධන, ආර්.ඩබ්ලිව්. ආර්. පේමසිරි, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි, විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, පූජා භූමි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ටී.ආර්. විතාන, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) එන්.ආර්. ළමාහේවා, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එච්.ගාමිණි හේවගේ මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

More articles

Latest article