27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට ජනපතිගෙන් උපදෙස්

Must read

මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි.

“සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2300කි. එම මුදල ප්‍රමාණවත් නොවන්නේනම් වසර අවසන්වීමට පෙර ව්‍යාපෘතිය නිම කරනු වස් අතිරේක මුදල් සම්පාදනය කරන බව ජනාධිපතිතුමා පැවසීය.

විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිට හැම කෙනෙක්ම තම වගකීම ඉටුකිරීමට එක්වන්නැයි ජනාධිපතිතුමා සමාජ මාධ්‍යවල පරිසරය ගැන කතා කරන සියලුදෙනාගෙන් ද ඉල්ලා සිටී.

පරිසර විනාශයක් පිළිබඳ නිර්මාණය කොළඹ සිට කෙරෙන සැලසුම්සහගත වැඩසටහනකි. දශකයකට පමණ පෙර කොළඹ සහ තදාසන්න නගර පැවති ආකාරය බොහෝ දෙනෙකුට අද අමතකය. කොළඹ කුණු කඳු ඉවත් කර, ගොඩකර තිබූ පහත් බිම් සේම තෙත් බිම් යළි සංවර්ධනය කර කොළඹ හරිත නගරයක් කළ බව ජනාධිපතිතුමා සිහිපත් කරයි. මේ ප්‍රගතිය සිංගප්පූරුව ඇතුළු ලොව රටවල් රැසක අවධානයට යොමු වු බව රාජපක්ෂ මැතිතුමා පවසයි.

මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීමේ “සුරකිමු ගංගා” ජාතික වැඩසටහන ලෝක ජල දිනයට සමගාමීව ඊයේ (22) පෙරවරුවේ ඓතිහාසික කතරගම පූජා භූමියේ මැණික් ගඟ අසබඩදී ආරම්භ කරමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය. ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කරමින් “සුරකිමු ගංගා” ව්‍යාපෘතියේ නිල ආරම්භය සනිටුහන් කළේය.

More articles

Latest article