24 C
Colombo
ඉරිදා, ඔක්තෝබර් 1, 2023

ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට අපිට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ – ජනපති

Must read

“ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසමට අයත් දෑරංගල කනිටු විද්‍යාලයේ දී අද (27) දින පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා,

“ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට අපිට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් නෑ. බලය බෙදීම කියලා නැවත බෙදුම්වාදය ගෙනල්ලා ඒ අයට අවශ්‍ය භූ දේශපාලනික අවශ්‍යතාවයන් ඉටුකර ගන්නට අපේ ස්වෛරීත්වය පාවා දෙන්න අපි සූදානම් නෑ. අපිව බලයට පත්කළේ මේ මූලික දේවල් නැවත හරිමගට යොදවන්න. මගේ මේ කාලය ඇතුළත මට මුහුණ දෙන්නට වුණු ප්‍රශ්න සියල්ලක්ම ගිය ආණ්ඩුව කරපු දේවල් නිසා ඒවා නිවරැදි කරන්න ගිහිල්ලා. MCC ගිවිසුම ගැන, ගිය ආණ්ඩුව අමෙරිකාව සමග අත්සන් කරලා ඩොලර් මිලියන 10ක පමණ, ආරම්භත් කරලා තිබුණේ කාර්යාලයක්. නමුත් අපි ඒක අමෙරිකාව සමග සාකච්ඡා කරලා, කරුණු හොයලා බලලා අපි පැහැදිළි කරලා දුන්නා. ඒ අයත් කැමැත්තෙන් අපි මේකෙන් ඉවත් වුණා. නැගෙනහිර පර්යන්තය, අපි කරපු එකක් නෙමෙයි. ඉන්දියාවත් සමග අත්සන් කරපු ගිවිසුමක්. එම රටවල් සමග ගිවිසුම් අත්සන් කළාට පස්සේ ඒවයින් ගැලවෙන්න හරි අමාරුයි. විවිධ බලපෑම් එනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය අපිට ගේන්න වුණේ ඇයි. මේ රට පාලනය කරගන්න බැරිවෙන තරමට, කොමිසම් සභාවේ පැහැදිලිවම කියනවා රාජ්‍ය පාලනය වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරයාට තිබුණු බලතල නැතිකරලා දාලා තිබුණ එක හේතුවක් වුණා කියලා. පරිසරය පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ අපි කරපු දේවල්, කොළඹ ලෝකයේ හරිත නගර අතරින් ඉදිරියෙන්ම සිටින නගරයක් බවට පත්කළා. පරිසරය විනාශවන කටුපොල් අපි තහනම් කළා. සමාජ මාධ්‍ය හරහා වැරදි මත ජනතාවට ගෙනියනවා. ජනතාව ප්‍රවේසම් වෙන්න ඕනේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජයට පත්කරලා වෙච්ච වැරැද්ද නැවත කරගන්නට ඉඩ තියන්න එපා.” 

දෙනියාය ආසනයේ ජනතාව කලක සිට පීඩා විඳින මාර්ග හා ප්‍රවාහන දුෂ්කරතා, සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් ඌනතා, පානීය සහ වගා ජල හිඟය, කෘෂිකර්මික ගැටළු, නිවාස හිඟය හා සන්නිවේදන පහසුකම්, පාසල්වල යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම, ගුරු හිඟය ඇතුළු තව‍ත් ගැටලු රැසකට ජනාධිපතිතුමා විසින් විසඳුම් ලබාදුන් අතර මෙම අවස්‌ථාවට මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයින්, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිළධාරීන් රැසක් සහභාගී වුණා.

More articles

Latest article