31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

කටාර් පුණ්‍යායතනයේ ව්‍යාපෘති නැවත ආරම්භ කෙරේ

Must read

ශ්‍රී ලංකාව සමඟ පවත්නා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් මේ වර්ෂයේදී රුපියල් කෝටි 400ක (අමෙරිකානු ඩොලර් මිලියන 11ක) ව්‍යාපෘති හඳුනාගෙන තිබෙන බව කටාර් පුණ්‍යායතනය ප්‍රකාශ කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු ඇමැති එම්. යූ. එම්. අලි සබ්රි මහතා හමු වූ අවස්ථාවේ කටාර් පුණ්‍යායතනයේ ප්‍රධාන විධායක නිලධාරී යූසෙෆ් අල් කුවාරි මහතා මේ බව සඳහන් කළේය.

කටාර් පුණ්‍යායතනයේ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ කටාර් – ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් ලෙස පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමැතිවරයාගේ අවධානය යොමුව තිබෙන අතර, කටාර් පුණ්‍යායතනය ලොව පුරා සිදු කරන මානුෂීය මෙහෙවර අගය කළේය.

සෞඛ්‍ය, අධ්‍යාපනය, ආහාර සුරක්ෂිතතාව, මූල්‍ය සවිබල ගැන්වීම්, නිවාස සහ සමාජ සත්කාර යන ක්ෂේත්‍රවලින් දී තිබෙන සහාය අගය කරමින් ශ්‍රී ලංකාවේ අසරණ ජන කොටස් සඳහා තවදුරටත් ආධාර ඉල්ලා සිටියේය.

කටාර් පුණ්‍යායතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම දෙන බවට මෙහිදී සහතික වූ අතර, කටාර් පුණ්‍යායතනයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව මේ වර්ෂය සඳහා ශ්‍රී ලංකාවට ලබාදීමට ඩොලර් මිලියන 11ක් වටිනා ව්‍යාපෘති හඳුනාගෙන ඇති බව ද ප්‍රකාශ කළේය.

කොළඹ, කටාර් පුණ්‍යායතන කාර්යාලය යළි විවෘත කිරීමේ උත්සවයට විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ද සහභාගි විය.

More articles

Latest article