31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

රට ගොඩගන්න අගමැතිට ශක්තිය ධෛර්යය ලැබේවා – කිරිවෙහෙර රජමහා විහාරාධිපති

Must read

රට පත්ව තිබෙන අසීරු තත්ත්වයෙන් යළි ගොඩනැංවීමට මෙරට දෙවැනි පුරවැසියා ලෙස නොබියව වගකීම බාර ගත් දිනේෂ් ගුණවර්ධන මහතාට එම කාර්යය කරගෙන යෑමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියෝ පැවසූහ.

ඒකීය රාජ්‍යය හා මාතෘ භූමිය සුරකින අධිෂ්ඨාන පූජාව සහ සත්‍යක්‍රියාව 28 වැනි වරටත් මහ සඟරුවන සහ මහජන එක්සත් පෙරමුණේ නායක, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (04) කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියසදී පැවැත්වුණු අතර එහිදී අනුශාසනාවක් සිදු කරමින් කොබවක ධම්මින්ද හිමියෝ මේ බව සඳහන් කළහ.

කොබවක ධම්මින්ද හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

එදා මෙදා තුර මහජන එක්සත් පෙරමුණට රටේ දෙවැනි නායකත්වය හිමි කර ගන්නට මේවන විට හැකිවී තිබෙනවා.

“අපි දන්නවා දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා ඉතාමත් දීර්ඝ කාලයක ඉදලා. විශේෂයෙන් මහජන එක්සත් පෙරමුණ නඟා සිටවූ කාලයේ ඉදලාම තුණුරුවන් පිළිබඳ ඉතාමත් ගෞරවයෙන් කටයුතු කරපු රටට මහා මෙහෙවරක් කළ කෙනෙක් විදිහටයි හැමදෙනා තුළම ජනාදරයට ඔබතුමා පත්වෙලා තිබෙන්නේ. ඔබතුමා මහජන එක්සත් පෙරමුණට නව ජීවයක් දීලා තිබෙනවා. රටේ ඉතාමත් අමාරු කාල පරිච්ඡේදයක වුවත් මේ වගකීම බාර අරගෙන රටට මෙහෙවරක් කරන්න ඕනේ කියන හැඟීම ඇති කරගෙන රට ගොඩ දාන්න ඕනෑය කියන හැඟීම ඇති කරගෙන මේ මහා භාරධුර කාර්යයට උර දීපු එක ඉතාම වටිනා දෙයක් හැටියට අපි අගය කරන්න ඕනෑ. අපවත් වී වදාළ අලුත්වැව සෝරත මහානායක ස්වාමීන්වහන්සේ වැඩසිටි යුගයේ මේ පින්කමට බොහොම වුවමනාවෙන් සම්බන්ධ වුණා. බොහෝ දුර බැහැර හිටියත් ඇතැම් අවස්ථාවල අපිට මතකයි විදේස් රටවලට වැඩම කර සිටි අවස්ථාවලදී පවා ඒ ගමන අතර මග නතර කර උන්වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වුණා.”

කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස හිමියෝ- “දිනේෂ් ගුණවර්ධන මහතාගේ අපි දැකපු විශේෂත්වය තමයි එතුමා ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් රටට, ජාතියට විපතක් වෙන අවස්ථාවක් නම් පවතින ආණ්ඩුවට සහ රටට සහාය දක්වමින් එතුමන් කරන කැප කිරීම. රට වෙනුවෙන් ජාති, ආගම්, පක්ෂ භේද ඉවතලා මෙවැනි කැප කිරීම් කරන්න ඉදිරිපත් වන්නේ එතුමන් සතු ජාති හිතෛෂීභාවය නිසයි. මම හිතන්නේ මේ ගුණය එතුමාට ආවේ එතුමාගේ පියා වන පිලිප් ගුණවර්ධන මහතාගෙන් කියලයි. පිලිප් ගුණවර්ධන මහතා මේ රටේ නිදහස වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මහා කැපකිරීම් කරලා, හිර ගෙවල්වල හිටියා.”

ප්‍රතිඥාව ඉදිරිපත් කළ මහජන එක්සත් පෙරමුණේ නායක අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා- ”අපේ මුතුන් මිත්තන් පරපුරෙන් පරපුරට රැක දුන් මව්බිමේ ඒකීය රාජ්‍යයත්, භෞමික අඛණ්ඩතාවයත්, ස්වෛරී ස්වාධීනත්වයත් අපගේ උරුමයන් සහ සම්පත් සුරැකීමට කැප වෙමු.

වසර දෙදහස් පන්සියයක් ඉක්මවා මහත් ගෞරවයෙන් හා අභිමානයෙන් සුරැක ජාතියට දායාද කරන ලද්දා වූ උතුම් බුද්ධ ශාසනයත් මහා සංඝරත්නයත් ආරක්ෂා කොට සුරැකීමට හා චිරස්ථිය පිණිස කැප වෙමු.

ගහකොළ, සතා සිව්පාවා, ගංගා ඇළ දොළ, වැව් අමුණු, ජල මූලාශ්‍ර, වනාන්තර, අභය භූමිය ආදියෙන් සුපෝෂිත ස්වභාවික සම්පත ආරක්ෂා කොට, පුනර්ජනනීය බල ශක්තියෙන් පොහොසත් කොට, කාලගුණ විපර්යාසයන්ට මුහුණ දෙන අහරින් ස්වයංපෝෂිත පරිසර හිතකාමී දේශය බවට පත් කිරීමට ඇප කැප වෙමු.

රට ඒකඡත්‍ර කිරීමට පෙරමුණ ගත් රණවිරුවන් ආරක්ෂා කර එම පවුල්වල සුබසිද්ධිය ඇති කිරීමටත් කැප වෙමු. රටක සංස්කෘතියේ සභ්‍යත්වයේ දියුණුව වන්නේ එරට කාන්තාවන්ගේ ගෞරවය සහ ආරක්ෂාව සලසමින් අප රට තරුණ පරම්පරාව දැනුමෙන් ශක්තිමත් කරවන රටක් ගොඩනැඟීමටත්, අපේ රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් එකතු කරගනිමින් නව රැකියා හා ජීවන උපාය මාර්ග සහතික කරන අනාගතයක් උදා කිරීමට කැප වෙමු.”

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි, කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස හිමි, ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කස්සප හිමි, වැඩහිටිකන්ද රජමහා විහාරාධිපති හීල්ලේ ඤාණානන්ද හිමි , නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, කෝට්ටේ නාග විහාරාධිපති කොටහේනේ නාරද හිමි, සංඛපාල රජ මහා විහාරාධිකාරී කොකාවල කෝසල හිමි, තංගල්ලේ ගෝතම හිමි, මාලේවන ධර්මවිජය හිමි, මඩවලතැන්නේ ජිනරතන හිමි, වගේගොඩ ශීලානන්ද හිමි ඇතුළු මහ සඟරුවන ද, මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස යාපා ජයවර්ධන, උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, විමලවීර දිසානායක, විජිත බේරුගොඩ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අනුප පැස්කුවල්, චාමර සම්පත්, රෝහණ දිසානායක මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන්, ජාතික සංවිධාන නියෝජිතයන්, මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

More articles

Latest article