26.6 C
Colombo
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 28, 2023

ලක්ෂ 55ක හිඟ බිලට රූපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්ධි කරයි

Must read

විදුලි බිල නොගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්ධි කළ බව විදුලිබල මණ්ඩලය පවසයි.

කෙසේ වෙතත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කර, විදුලි බිල ගෙවීමේ යම් එකඟතාවකට පැමිණීමෙන් පසු පැය පහ හමාරකට පසුව යළි විදුලිය සැපයීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.

ඉකුත් නොවැම්බර් මස පමණක් රූපවාහිනී සංස්ථාවේ විදුලි බිල රුපියල් ලක්ෂ පනස් පහ ඉක්මවයි.

මෙලෙස විදුලිය කැපීම හේතුවෙන් රූපවාහිනී විකාශ කටයුතු විදුලි ජනන යන්ත්‍ර මඟින් ක්‍රියාත්මක කළ බවත්, මේ සඳහා ඩීසල් පිරිවැය ලෙස රුපියල් දෙලක්ෂ අසූ නව දහස් පන්සිය හැත්තෑ පහක මුදලක් වැය වී ඇති බවත් රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග පවසයි. එම විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරිමේදි පැයකට ඩීසල් ලීටර් එකසිය තිහක් වැය වන අතර, පැය පහමාරක් සඳහා ඩීසල් ලීටර් හත්සිය පහළොවක් වැය වී තිබේ.

විදුලි බිල නොගෙවා ඇති ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයන්ටද මෙම විදුලිය විසන්ධි කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු කියා සිටියේ දහවල් 12.52 සිට සවස 6.22 දක්වා මෙලෙස විදුලිය කැපීම සිදු කර ඇති බවයි. ඒ ඉකුත් නොවැම්බර් මාසය සඳහා රුපියල් මිලියන පහමාරක විදුලි බිලක් සඳහායි. මෙම ප්‍රශ්නය සාකච්ඡා කර විසඳාගත්තා නම් විදුලි ජනන යන්ත්‍රය සඳහා වැය වූ මුදල ඉතිරි කරගැනීමට හැකියාව තිබූ බව හෙතෙම කීය.

ඔක්තෝබර් මාසයේ විදුලි බිල ගෙවා ඇති අතර, දෙසැම්බර් මාසයේ විදුලිබිල ඊයේ (11) ලැබී තිබෙන බවද එම ප්‍රකාශකයා කීය.

More articles

Latest article