27 C
Colombo
බ්‍රහස්පතින්දා, අගෝස්තු 18, 2022

බැංකු පද්ධතිය ඔස්සේ විදෙස් මුදල් එවන්නන්ට දෙන තීරු බදු සහන ඉහළ දැමීමට පියවර

Must read

බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් ප්‍රේෂණ යොමු කළ ඕනෑම ශ්‍රී ලාංකිකයකුට ගුවන් තොටුපළේදී තීරු බදු සහනය ඉහළ දැමීමටත්, ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනයට අවසර දීමටත් කැබිනට් අනුමැතිය හිමි වූ බව කම්කරු හා විදෙස් රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (2) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ඩොලර් 3000ට වඩා තමන්ගේ හෝ ඥාතියකුගේ හෝ ගිණුමකට බැංකුවක් හරහා එවා තිබේ නම් ඒ අයට ඒ එවපු මුදලේ අඩක වටිනාකමට විද්‍යුත් යතුරු පැදියක් මිලදී ගැනීමටත්, ඩොලර් 20,000 වැඩි ඕනෑම මුදලක් මෙරටට ඒවා ඇති පුද්ගලයන්ට එසේ මෙරටට එවා ඇති මුදලින් හරි අඩක වටිනාකම උපරිම ඩොලර් 65000ක් දක්වා වන පරිදි විද්‍යුත් වාහනයත් ආනයනය කිරීමටත් අවසර දෙන බව ඒ මහතා කියා සිටියේය.

මෙලෙස ගෙන්වන වාහන 300-500 අතර ධාවන පරාසසයක විය යුතු බවත් එය සූර්ය බල පද්ධතිකින් ආරෝපනය කළ යුතු අතර එය තමන් විසින් ම සකස් කර ගැනීමට හෝ ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා කීවේය.

එහෙත් ජාතික පද්ධතියෙන් මේ වාහන චාර්ජ් කිරීමට ඉඩ නොදෙන බව පැවසූ නානායක්කාර මහතා ත්‍රී රෝද රථ ගෙන්වීමට ඉඩ ලබා නොදෙන බව පැවසීය.

මෙම නව ක්‍රමවේදය හරහා ගෙන්වීමට අවසර හිමිවන විද්යුත් වාහනවල ප්‍රමාණය පිළිබඳ චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත බවද මනූෂ නානායක්කාර මහතා පැවසීය.

එහි දී ඇමැතිවරයා වැඩි දුරටත් මෙසේද කියා සිටියේය.

“විදෙස්ගත ශ්‍රමිකයන් මේ වෙලාවේ එවන මුදල් අපට ඉතාම වැදගත්. පහුගිය කාලයේ එවූ මුදල් ප්‍රමාණයේ යම් කිසි අඩුවක් තිබුණත් ජූලි මාසේදී යම් වැඩිවීමක් වුණා. මේ මුදල් නිසා තමයි අපිට තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ගන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි අප මුලින්ම ඉල්ලීමක් කළේ රටේ තියන ප්‍රශ්නය විසදා ගන්න ඔබට පුළුවන් සහයෝගයක් දෙන්න කියා.

“සමහරු උන්ඩියල් හවාලා වැනි ක්‍රම හරහා සල්ලි එවද්දී රටට ආදරේ මිනිස්සු ටික තමන්ගේ ඩොලර්, යෙන්, ඩිනාර් ටික බැංකු හරහා එව්වා. ඒ ඩොලර් සංචිතවලින් මේ රටේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. ඒ නිසා ම කැබිනට් මණ්ඩලයේ පූර්ණ එකඟතාව මත අපේ අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එකතු වී එවන ප්‍රේෂණ වැඩි කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළා.”

More articles

Latest article