25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

වරාය ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ පාලන සමයයි – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

Must read

වරාය ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක් ඇති කරමින් මෙරට නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරගත හැකි වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුගයේ බව වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02) පැවසීය.

හම්බන්තොට වරායක් ගැන අසා තිබුණද එය සිහිනයක් බවට පත් නොකර යථාර්ථයක් බවට පත් කිරීමට ද රාජපක්ෂ මහතා සමත් වූ බව ඇමැතිවරයා කීවේය.

වරාය හා නාවික, ජල සම්පාදන අමාත්‍යාංශ හා ගුදම් පහසුකම්, බහාලුම් අංගණ, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන,ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයන්හි අයවැය කාරක සභා විවාදයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (02) රැස් විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු දුන්හ.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

බටහිර පර්යන්තයක් නැහැ.. තවම තිබෙන්නේ දිය කඩනයක් විතරයි. මේ හදන්න හදන්නේ ජනතාව තුළ වැරැදි ප්‍රතිරූපයක්. මේ දියකඩනයට දකුණු පැත්තෙන් තිබෙන්නේ පෝට් සිටි එක. ඒ අනුව හෙක්ටයාර් 289ක භූමියක් ලැබෙනවා. ලෝකයේ දියුණු රටවල් සමග අපට ගනුදෙනු කිරීමේ හැකියාව අපට ලැබෙනවා. නැගෙනහිර පර්යන්තය ගැන තිස්ස අත්තනායක මහතා කතාකළා. නැගෙනහිර පර්යන්තයෙ දිග මීටර් 1320යි. අපි ආණ්ඩුව පරාජය වනවිට මීටර් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් හදලයි තිබුනේ. නමුත් පසුගිය ආණ්ඩුව මේ වෙනුවෙන් මොනවද කළේ. අඩුම තරමේ නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් අවශ්‍ය දොඹකර ටික ගෙනාවද. පසුගිය රජයේ වරාය ඇමතිවරු තුන්දෙනාම වරාය වෙනුවෙන් මොනවද කළේ.

ජය බහාලුම් පර්යන්තයේ මාස 6කින් වැඩ අවසන් කරනවා. අපි ගෙන්වූ දොඹකර එවිට එතැනට ගෙනයනවා. මේ වන විට අංග සම්පූර්ණ පර්යන්තයක් බවට පත්වන්න තිබූ එකක්.

මේ වන විට ලබා ගැනීම තිබූ ඩොලර් මිලියන 250ක් පමණ අහිමි කළා යහපාලනයෙන්. ඒ තත්ත්වය ඇති කරලා දැන් අපට කියනවා ලාබ නැහැ කියලා. සී.අයි.සී.ටී. එකෙන් වාර්ෂිකව රුපියල් බිලියන 5ක් අපි ලබා ගන්නවා. ටෙන්ඩර් පටිපාටියෙන් දොඹකර ගේන ක්‍රියාවලිය අවසන්. එය ලබන කැබිනට් එකට ඉදිරිපත් කරනවා. අංග සම්පූර්ණ නැගෙනහිර පර්යන්තයක් මෙරට දරුවන් වෙනුවෙන් ලබාදෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා (පො.ජ.පෙ.)

හම්බන්තොට වරායට ඩොලර් මිලියන 780 ක් ගෙවන්න ඉදි කළ සමාගම ඉල්ලුවා අවුරුදු 35 කට. එවකට රජය ඒක නොදී දැනට අවුරුදු 99 බද්ද දුන්නා. ඒක පෙන්වා දුන් නිසා කැබිනට් ඇමැති ධුරයෙන් පවා මම ඉවත් කළා. ඒ ගැන මම දුක් වන්නේ නැහැ. මෙවැනි දෙයක් වුණ එක ගැන සොයන්න කොමිෂම් සභාවක් දාලා හරි පරීක්ෂණයක් කරන්න.

ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා

වරාය ක්ෂේත්‍රය තුළ එක බිම් අගලක් දීලා තිබේ නම් ඇමැතිකම්වලින් ඉල්ලා අස්වෙන්න අපි සූදානම්. හම්බන්තොට වරායට ගත් තක්සේරුව කෝ. තක්සේරුවක් නැතිව හම්බන්තොට විකුණලා.

පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා (ස.ජ.බ.)

පසුගිය කාලය තුළ නැගෙනහිර ජැටියේ ඉදි කිරීම ගැන විශාල ප්‍රශ්නයක් මතු වුණා. ඉන්දියාවට ලබාදීමට ආණ්ඩුව උත්සාහ කිරීමත් සමඟ ඒ ගැටලුව මතු වුණා. අපේ වරායේ තිබෙන විශේෂම කොටසක් තමයි නැගෙනහිර ජැටිය. ආණ්ඩුවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකා වරාය යොදා ගන්න උත්සාහ කරනවා. අපේ පර්යන්තයට විශාල නැව් ඇතුළු වීම සඳහා මේ කොටස නවීකරණය කිරීම අවශ්‍යයි. නොඑසේ නම් එහි සිදු වන ගනුදෙනු බිඳ වැටිය හැකියි. මේ පර්යන්තයට අවශ්‍ය දොඹකර වර්ග කිහිපයක් තිබෙනවා. දොඹකරයක් ගේන්න වසර දෙකක් පමණ යනවා. මීටර් 1200ක් දිග මේ පර්යන්තයට දොඹකර බොහොමයක් ඕන. මේ පර්යන්තය දියුණු නොකරන්නේ පෞද්ගලික සමාගමකට ලබාදීමට ද කියලා අපට සැකයක් තිබෙනවා.

ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා

නැව් සංස්ථාවට අයත් ‍නැව් දෙකක් තිබෙනවා.

තිස්ස අත්තනායක මහතා

හරි මම පිළිගන්නවා. ඒ දෙකත් කුලියට දී තිබෙනවා. මේ සංස්ථාව ලාබ ලබන විදියට වැඩසටහන් සකස් කළ යුතයි. එක්ස්ප්‍රස් පර්ල් නැව තවදුරටත් ඉවත් නොකළොත් අපේ වරායට පැමිණෙන ලොකු නැව් නොපැමිණීමට ඉඩ තිබෙනවා.

පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එ.ජා.ප.)

විකිණීමක් වෙලා නැහැ. අවුරුදු 70 කට බදු දී තිබෙනවා. ගෑස් ප්‍රශ්නය ගැන මම අහන්න කැමතියි.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා

එය සාකච්ඡාව සඳහා විපක්ෂ නායක, මන්ත්‍රිවරු ඇතුළු සියලු නිලධාරීන් පැමිණියා. එහි වාර්තාව ලබාදීම සිදු කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා

අපේ රට තුළ රසායනාගාර ඇති කළ යුතුයි. රසායනාගාර තිබේ නම් අපට මේ පරීක්ෂණ සිදු කළ හැකියි. හම්බන්තොට වරාය ගිවිසුම අවශ්‍ය නම් අහෝසි කළ හැකියි. ඩොලර් බිලියනයක් අපි ගත්තා. එය විදේශ විනිමය සංචිතයට ඇතුළු කළා. ණය පොලිය අඩුයි වාණිජ පොලියට වඩා.

ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා

හිටපු අගමැතිවරයාට වැරදුණා. අවුරුදු 70 කට නොවේ අවුරුදු 99කට බදු දීලා. ඔබතුමා කියන විදියට එක රැයකින් ගිවිසුම අහෝසි කරගන්න පුළුවන් නම් හොඳයි. එහෙම කරන්න බැහැ හිටපු අගමැතිතුමනි. හිටපු අගමැතිතුමා පැරදුණේ වෙලාවට. නැත්නම් ලංකාවම විකුණයි.

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා

රන් නිධානයක් බදු දෙන්න යනවා කියන කතාව තිස්ස අත්තනායක මහතාගේ කතාව තුළ තිබුණා. අනූනව අවුරුද්දකට බදු දෙන බවට අත්සන් කර තිබෙනවා. යහපාලනය කාලයේ මෙය බදු දුන් නිසා ජාතික අපරාධයක් වුණා. හම්බන්තොට වරාය රන් කිකිලියකට සමාන කළ හැකියි. ඒ රන් කිකිලි දාන බිත්තර ගත හැක්කේ චීනයට. අපට දුකයි ඒ ගැන. මහින්ද මහතාගේ කාලයේ රටේ වරාය, ගුවන්තොටුපොළ හැදුණා. අස්සක් මුල්ලක් නෑර මහා මාර්ග හැදුණා. හැමතැනටම විදුලිය ලැබුණා. සංවර්ධනය වෙමින් තිබූ රට යහපාලනයට බාර දෙන විට ණය තිබුණේ ට්‍රිලියන 7 යි. යහපාලනයෙන් නැවත අපට රට බාරදෙන විට එය දෙගුණයක් කර ට්‍රිලියන 14 ක් බවට පත් කර අපට බාර දුන්නා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා (ස.ජ.බ.)

2025 වන වන මෙරට ජනගහනයෙන් සියයට 75 කට ජලය ලබාදීම කඩිනමින් ක්‍රියාත්මක කරනවා. එය හොඳයි. ජාතික ජලාපවාහන හා ජල සම්පාදන මණ්ඩලය ආරම්භ කර බොහෝ කල්. අධිරාජ්‍ය කාලයේ මෙය ආරම්භ කළා. වසර 70 ක පමණ කාලයක් තුළ ජනතාවට ජලය ලබාදී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක්. දිනකට කියුබික් මීටර් මිලියනයක් ජලය අවශ්‍ය වෙනවා. එය කිරීම අපහසු කාර්යක්.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙ.ජා.ස.)

මන්නාරම දිස්ත්‍රික්කයේ සියයට 50 ක පමණ ජනතාවට ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය සපයනවා. භූගත ජලය තමයි ලැබෙන්නේ. භූගත ජලය පානය නිසා වකුගඩු රෝගීන් ඇති විය හැකි බවට විශ්වාස කරනවා. ජලාශවලින් පානීය ජලය ලබාදෙන්නේ නම් වකුගඩු රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා. (පොජපෙ)

ජනතාවගේ නිදහස සහ ජාතික සම්පත් විනාශ කළ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අද වරාය ගැන කතා කරනවා.සම්පත් ගැන කතා කරනවා.

(නුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේලු කුමාර් මහතා මුලසුනට පැමිණියේය.)

මිලාන් ජයතිලක මහතා

අනුර කුමාරලාගේ දරුවන් නයිට් ක්ලබ්වල විනෝද වෙද්දි අනිත් දරුවන්ට සමාජවාදය ගැන කියලා දෙනවා.

පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා.(සජබ)

වරායක් කියන්නේ රටකට වැඩිම ආදායමක් උපයා දෙන ව්‍යාපාරයක්. ලංකාවේ කන්ටේනර් මිලියන 07ක් ගොඩබානවා. අනෙක් රටවල් වල අපි වගේ සිය ගුණයකින් කරනවා. දැන් කියාවි අපි ඒ සඳහා අවශ්‍ය පහසුකම් හදනවා කියළා. චීනයෙන් ලොකු ණයක් අරගෙන තමයි හම්බන්තොට වරාය හදලා තිබෙන්නේ. ලෝකයේ අංක එකේ වරාය තිබෙන්නේ චීනයේ. ලංකාව අංක 25ටයි තිබෙන්නේ. ලෝකයේ හොඳම වරායන් කරන චීනෙත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තිබෙනවා. වරයාක් කියන්නේ කන්ටේනර් බාන එක විතරක් නෙවෙයි තවත් සේවාවන් රැසක් ලබාදෙන්න පුළුවන්.මේ වරාය සම්බන්ධව තවමත් තිබෙන්නේ පරණ අන පනත්. ඒ දේවල්වත් වෙනස් කරගන්න තවම කටයුතු කරලත් නැහැ.

මිලාන් ජයතිලක මහතා.

හම්බන්තොට වරාය කීයටද විකුණුවේ. ඒක මුලින්ම කියන්න.

හරීන් ප්‍රනාන්දු මහතා.

හම්බන්තොට වරාය විකුණනලා නැහැ. ඒකවත් දන්නේ නැහැ. ගෑස් සිලින්ඩර් නිකන් පුපුරන්නේ නැහැ. කරාමෙක ප්‍රශ්නයක් තියෙන නිසාලු. ඒකත් නැහැ. ලිට්ට්‍රෝ සමාගම ලාභ ලබපු ආයතනයක්. එය විකුණන්නද මේ සිලින්ඩර් පුපුරවන්නේ.මේක හොයා බලන්න. විකුණන්න හදන ක්‍රමයේ මුලාරම්භයයි මේ. මම ඇමැතිවරයා වුණ දවසට හොදට කරලා පෙන්වන්නම්.

රෝහිත අබේවර්ධන මහතා.

මම හරීන් මහතාට බාධා කළේ නැහැ. ඒ නිසා මගේ පිළිතුරු කතාව අහන්න කියලා ඉල්ලා සිටිනවා. මම ඒ සියල්ලට උත්තර දෙන්නම්

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය මහතා.(සජබ)

වරායන් ගැන කතා කරද්දි අපිට චෝදනා කරනවා අපි විකුණුවා කියලා. එහෙත් මේ වරායන්වල කොටස් විකුණුවේ චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභය මහත්ම මහත්මීන්ගේ ආණ්ඩු කාලයේ. දැන් අපිට ඉතිරි වෙලා තිබෙන්නේ නැගෙනහිර ජැටිය විතරයි. ඒ නිසා එය කඩිනමින් සංවර්ධනය කරන්න පියවර ගන්න කියළා. එහෙම නැත්නම් අපිට වෙන්නේ විදෙස් රටවල් ආදායම් උපයා ගෙන යනකම් බලාගෙන ඉන්න එක විතරයි.

නුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා.(පොජපෙ)

අපේ හිටපු බැලුම් ඇමැතිගෙන් මම අහන්න කැමැතියි බැලුම් යවන්න කීයක් වියදම් කළාද, එය කොහාටද කඩා වැටුණේ කියළා. අපිට කියනවා පාස්කු විකුණලා ඡන්දය ගත්තා කියළා. තමන්ගේ තාත්තා කියපු දේ අහලා ගෙට වෙලා ඉදළා දහස් ගණන් මිනිස්සු මරණයට පත් වුණාට පස්සේ අද සුද්ධෝදන වගේ කතා කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා මුලසුනට පැමිණියේය.

ගුණතිලක රාජපක්ෂ මහතා.

අපේ ආණ්ඩුව කාලේ ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. එහෙත් යහපාලන ආණ්ඩුව ආව ගමන් ඒ සියල්ල නතර කරලා දැම්මා. නැවතත් අපේ ආණ්ඩුව ඒ නවතා තිබූ ප්‍රජා ජල ව්‍යාපෘති ආරම්භ කරන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ඉම්රාන් මහරුප් මහතා.(සජබ)

ත්‍රිකුණාමලයේ තිබෙන ස්වභාවික වරාය ගැන කිසිම අවධානයක් නැහැ. ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම ගැන එම දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙස කනගාටු වෙනවා.එම වරාය සකස් කළ හොත් විශාල ආර්ථික වාසියක් අපේ රටට ලබා ගන්න පුළුවන්. ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියළා මම විෂය භාර ඇමැතිවරයගෙන් ඉල්ලා සිටිනවා.

නුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේළු කුමාර් මහතා.(සජබ)

වතුකරයට අවශ්‍ය ජලය ලබාදෙන්නත් කටයුතු කරන්න කියලා. ජල මූලාශ්‍ර තිබෙන්නේ වතුකරය ආශ්‍රිත කඳුවලයි. එහෙත් ඒ ආසන්න ජනතාවට එහි ප්‍රතිපල භුක්ති විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රජා ජල යෝජනා ක්‍රම ඇති කළාට එය වතුකර ජනතාවට ලැබුණේ නැහැ. අපේ ආණ්ඩුව කාලේවත් එය ලැබුණේ නැහැ.

කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා (පොජපෙ)

මගේ දිස්ත්‍රික්කයේ අපේ හිටපු නායකයෙක් හිටියා, ප්‍රවාහනය භාර. ඒ අයට බැරිවුණා, කළුතර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරන්නට. ඒ වගේම ප්‍රවාහනය ගැන කතා කරනකොට අදටත් මතක් කරන්නේ අනිල් මුණසිංහ, ෆවුසි වැනි ඇමතිවරුන්.

යහපාලන ආණ්ඩුව වසර පහ අවසන් කරන විට රුපියල් ට්‍රිලියන හයකට වඩා ණය අරන් තිබෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු නවයටම ඒ තරම් ණය අරන් තිබුනේ නැහැ.

ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා (ජාජබ)

හම්බන්තොට වරාය ගැන ඉතිහාසය මේ කතාකරපු මන්ත්‍රීවරු දන්නේ නැහැ. මේ වරාය සම්බන්ධයෙන් ජාතික සම්පත් විකුණනවානම් කවුරුන් හරි එය කව්රු කළත් වැරදියි. ජනතා විමුක්ති පෙරමුණට අද උදේ ඉදන් මඩ ගහනවා. ජේ වී පී එකට මඩ ගගහා ඉන්නේ නැතිව දොම්පෙ පැත්තේ වතුර නැතිව ඉන්න ජනතාවට වතුර ටික දෙන්න මැදිහත් වෙන්න. ඒ වෙනුවෙන් කිසිම ආණ්ඩුවක් මැදිහත් වී නැහැ. ජල සම්පාදන විෂය අද තිබෙනේනේ. ජේ වී පී එකට මඩ ගහන එක වෙනම කරන්න. තමන්ගේ ආසනයේ ජනතාවට වැඩ කරන්න. බස්නාහිර පළාතෙත් වතුර නැති මිනිස්සු ඉන්නවා. නලින් මන්ත්‍රීතුමාගේ තාත්තා, බාප්පා මේ අයගෙන් අහගන්න, ඒ කාලේ ජවිපෙ ක්‍රියාකාරීත්වය ගැන. වතුකරයේ ජනතාව ගැනත් අවධානය යොමු කරන්න. ඒ අයගේ ප්‍රධාන ආහාරය රොටී. ඒ අයට අද පිටි ටික ගන්න විදිහකුත් නැහැ. මේ මිනිසුන්ගේ පානීය ජල අවශ්‍යතා ටික ඉටු කරන්න. වත්තෙ තිබෙන වතුර ටික වෙන පළාත් වල ජනතාවට දෙනවා. නමුත් වත්තේ ජනතාවට වතුර නැහැ. ඒ නිසා ඒ අය කෙරෙහි අවධානය යොමු කරන්න.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් කුමාර මංජු මහතා.(පොජපෙ)

09 වැනි පාර්ලිමේන්තුවේ මංගල කතාව තමයි අද මම කතා කරන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ 09 වැනි ස්ථානයට පත්ව පැවැතුන පුරප්පාඩු වෙනුවෙන් එන්න ලැබුණා. මහජන පරිමාධිපත්‍ය තුළයි මට එන්න ලැබුණේ. ඒ තැනට මට එන්න ශක්තිය ලබාදුන්න බුලත්සිංහල සියළුදෙනාට ස්තූතිය පුදකර සිටිනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මානප්පෙරුම මහතා. (සජබ)

පානීය ජලය ඉල්ලා අරගලයක් කරද්දි වෙඩි තියලා අපේ ජනතාව මරලා දැම්මා.

වාසුදේව නානායක්කාර මහතා

රස්නාගලින් වතුර දීම මාස තුනක් ඇතුළත ලබා දෙනවා. එහෙම බැරි වුණොත් ඒ වගකීම මම බාරගන්නවා.

අජිත් මානප්පෙරුම මහතා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජල ප්‍රශ්නය තව අවුරුදු 05 කින් අවසන් කරනවා කියලා කියනවා. එහෙත් තවම එකම ව්‍යාපෘතියක්වත් හරි හැටි ක්‍රියාත්මක නැහැ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී නිපුණ රණවක මහතා.(පොජපෙ)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙළ යටතේ සැමට ජලය වැඩසටහන යටතේ වසර හතරක කාලය තුළ සියළු දෙනාටම ජලය ලබාදෙන්න සැලසුම් සකස් කර තිබෙනවා. මාතර දිස්ත්‍රික්කය තුළ 2025 වසර වන විට සියයට 90ක ජනතාවට ජලය ලබා දීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා.

(මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මුලසුනට පැමිණියේය.)

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා. (සජබ)

සෑම ආණ්ඩුවක්ම වරාය දියුණු කරන්න කටයුතු කළා. හැබැයි ආණ්ඩුවෙන් කතා කළ මන්ත්‍රීවරු කියනවා අපේ ආණ්ඩුව වරායන් විකුණුවා කියළා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඡන්දය ඉල්ලද්දි කිව්වා විදේශයන්ට දීලා තිබෙන වරායන් පවරා ගන්නවා කියළා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා (පො.ජ.පෙ.)

අපි හදලා ඉවර වුණු හම්බන්තොට වරාය යහපාලනයෙන් විකුණලා දැන් ඔවුන්ම අහනවා කවද්ද ගන්නේ කියලා. එදා ජවිපෙ අයත් විකුණන එකට විරුද්ධව නැඟී සිටියේ නැහැ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ගෝඨාභය ජනාධිපතිවරයා ගෙනාවේ රට සංවර්ධනය කරන්නයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා (ස.ජ.බ.)

කොරෝනාවත් ගරානාවක් බවට පත් කිරීමට වරාය අධිකාරිය කටයුතු කර තිබෙනවා. ඩොලර් මිලියන 150කට අක්කර 13ක වරාය අසල ඉඩමක් චීනයට දෙන්න රජය කටයුතු කරනවා. ඩොලර් ගේන්න ඕන කියලා අපේ ඉඩම් දෙන්න හදනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තවරාසා කලෙයිඅරසන් මහතා (දෙ.ජා.ස.)

සුනාමියෙන් අපේ ජනතාව පීඩාවට පත් වුණා. ඒ ජනතාවට පානීය ජලය ලබාදීම නිසි ලෙස කළ යුතුයි. භූගත ජලය පවා නැති ගම්මාන තිබෙනවා. ඒවාටත් ජලය ලබාදෙයි කියලා අපි විශ්වාස කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා (ස.ජ.බ.)

වරාය ගැන කතා කරද්දි කීර්තිමත් ඇමැතිවරයකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා මතක් කළ යුතුයි. එතුමා තමයි අපේ වරාය කලාපයේ හොඳම වරාය වගේම අන්තර්ජාතික මට්ටමට ගෙන එන්න කටයුතු කළා. මෙය තරඟකාරී ව්‍යාපාරයක්. මෙය දවසක්, දෙකක්. නැත්නම් අවුරුද්දක් පරක්කු වුණොත් එම කාලය අල්ලන්න පහසු නැහැ. අපේ වරාය ආසියානු කලාපයේ හොඳම වරාය බවට පත්කර ගන්න පුළුවන්. පෞද්ගලික අංශය දායක කරගෙන අපිට වාසි ලැබෙන විදියට මෙය සිදු කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා (දෙ.ජා.ස.)

මන්නාරම දිස්ත්‍රික්කයේ 5000 කට අධික පිරිසකට අලුත් නිවාස අවශ්‍ය වී තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රීක් පාර්ලිමෙන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා(සජබ)

ගෑස් සිලින්ඩර් ප්‍රශ්නයේදී ජනතාවට සාධාරණයක් කරන්න. ජනතාව ඉන්නේ දැඩි පීඩනයකින්. ඒ නිසා ජනතාවගේ මේ ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වෙන්න. වරාය ක්ෂේත්‍රය කියන්නේ වටිනා අංශයක්. මෙම අංශය දියුණු කළ යුතුයි. නාවුකයින් ලෙස පිරිස් බඳවාගැනීම් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුයි. ඒ වගේම නාවිකයින් පුහුණු කිරිමේ හා බඳවා ගැනිමෙ වැඩසටහන් ඇතිකළ යුතුයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැනත් මතක් කළ යුතුයි. මෙම නෞකාව ගෙනාවේ ගිනි ගත්තට පස්සේ . මෙම සිදුවීම සමස්ත මුහුදු තීරයටම බලපෑවා.

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා

කල්පිටිය දූපත සඳහා පානිය ජලය ලබාදිමේ වැඩසටහනක් අපි ආරම්භ කරනවා. කිලෝමීටර් දෙක හමාරක දුරක් මුහුදු යටින් බට ලයින් එකක්ද ගෙන යමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා

2020 වසරේදී 116908කට ද, 2021 වසරේදී 201854 කට ද, 2022 වසරේදී 436000කට ද පානීය ජල පහසුකම් දෙනවා. ජන ජීවිතයේ ධවල රුධිරය ලෙසට අපි ජලය සලකනවා. මලාපවහන විෂයත් අපට බාරයි. මහනුවර අපද්‍රව්‍ය බැහැර කිරීමේ විශාල ව්‍යාපෘතිය අපි මෑතකදී ක්‍රියාත්මක කළා. තවදුරටත් මහවැලියට, නුවර වැවල මල ද්‍රව්‍ය යන්නේ නැහැ. ජලය සැපයීම හෝ මලාපවාහනය ලාබ ලැබීමේ දේවල් නොවේ. ඒකට වියදමක් යනවා. එය සමාජ මෙහෙවරක්. එක ජල සම්බන්ධතාවක් දීමට රුපියල් 50ක් පමණ යනවා. ඒකක 15ක් සාමාන්‍ය නිවසක පරිහරණයට ප්‍රමාණවත්. සියලු සැලසුම්කරණ සූදානම්. ඒවා ක්‍රියාවට නැංවීම පමණයි අපට තිබෙන්නේ. පිරිසිදු ජලයේ අනුපාතයට සෞඛ්‍ය වියදම් අඩු වන විදිය පෙන්වාදීමට අපි කැමැතියි. ජලයෙන් හට ගන්නා රෝග නැතිවෙනවා. පිරිසිදු පානීය ජලය ලබාදීමෙන් ජලයෙන් හටගන්නා රෝගවලින් ජනතාව මුදා ගන්නවා. ගෘහස්ථ ජලය සැපයීමේදී සියයට 0.3ක් වියදම් කරන විට සියයට 1ක් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වෙනවා. හැමදේම ගණන් යන විට ජලය පමණක් ගණන් නොයන්නේ ඇයි කියලා ඔබ බලයි.

ලක්ෂ 5කට පමණ තවත් ජලය දීමට හැකියි එලා තිබෙන නළ ජල නිසි ලෙස කළමනාකරණය කළ විට. ඒ විදියට තමයි අපි ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නේ. ජල බිල්පත වැඩි කිරීමට අපි බලාපොරොත්තු නැහැ. මිනිසුන් ඉල්ලුවේ ජලය විතරයි. අද හැබැයි ජනතාව ඉල්ලන්නේ පිරිපහදු ජලය. අයථා ක්‍රමයට ගන්නා ජලය 2021 දකුණු ඉවුර කැලණි ගඟ, නාගදීපය මහනුවර මල ව්‍යාපෘති පද්ධතිය යෝජනා ක්‍රම. 2022 වසරේදී ආණමඩුව, පොල්ගහවෙල, අලව්ව, කඩුවෙල, ඔරුගොඩවත්ත, මාතර හතර යනාදි ප්‍රදේශයන්හි ජල ව්‍යාපෘති අවසන් කරනවා. ගංගාවල ඉවුරු දෙපැත්තේ ඇති නගර හා කුඩා නගර තිබෙනවා. ඒවායේ මල ද්‍රව්‍ය බැහැර කරන්නේ මේ ගංගාවලට. එය වැළැක්වීම අපේ අභියෝගය වෙනවා. 1700ක් කාර්මික වැඩපොළවල අපද්‍රව්‍ය බැහැර කරන්නේ කැලණි ගඟට. මේ නිසා එම ජලය පිරිපහදු කිරීම අපහසු කාර්යක්. අපජලය වැඩි වන තරමට පිරිපහදු කිරීමේ වියදම වැඩිවෙනවා. එසේ වන විට ඔබේ ජල බිල්පත වැඩි නොවී තිබෙන්නේ නැහැ.

වැය ශීර්ෂ සම්මත විය.

More articles

Latest article