33 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

බ්‍රිතාන්‍ය කිරීටයෙන් ශ්‍රී ලංකාව මුළුමනින්ම නිදහස ලැබූ ජනරජ දිනය අදයි

Must read

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ 1972 මැයි 22 දින ශ්‍රී ලංකාවේ ජනරජ දිනය යි.එය මෙරට ඉතිහාසයේ වැදගත් ම සන්ධිස්ථානයක් වන අතර වසර සියයකට අධික කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරී භාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය එමගින් නැවතත් මෙරටට හිමිවිය.

1815 දී ඉංග්‍රීසීන් විසින් උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැනුණු අතර එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙත පැවරුණි. ඉන්පසුව මේ රට පාලනය කෙරුණේ බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙකු මගිනි.

ඉංග්‍රීසීන් විසින් ගෙනගිය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව මෙරට ජාතිකවීරයන් මෙහෙයවන ලද නොනිමි අරගල හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් අවස්ථා කිහිපයකදීම සිදුකෙරුණ ද ජාතික නායකයින් අපේක්ෂා කළ අරමුණු ඒවායින් ඉටු නොවූයෙන් මවු බිමට නිදහස පතා ජාතික නිදහස් ව්‍යාපාර තවදුරටත් දියත් විය.

මෙම නිදහස් ව්‍යාපාරවල සහ ඒවායේ පුරෝගාමී ජාතික විරුවන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් 1948 පෙබරවාරි 4 වනදින ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස හිමිවිය.ජාතියේ පියා ලෙස හඳුන්වනු ලබන මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා එහි පුරෝගාමී චරිතයක් විය.

කෙසේ වුවද 1948 දී මෙරටට හිමිවූයේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් වන අතර තවදුරටත් ශ්‍රී ලංකාවේ රජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍රආණ්ඩුකාරවරයා ය.එසේම මෙරට ඇතැම් කරුණු පිළිබඳ අවසන් බලය පැවරී තිබුනේ එංගලන්තයේ ආයතනයන්ට ය.බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුවද නීතිගත වූවේ නැත. විශේෂයෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේදී සන්නද්ධ සේනාවන්හි සේනාධිනායක වූයේ ඔහුය.එසේම ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේද එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටය.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මුළුමනින්ම නිදහස් වී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ 1972 මැයි 22 දිනයි.ඒ ගරු සිරිමා බණ්ඩාරනායක අගමැතිණිය සහ එතුමිය ප්‍රමුඛ රජය විසින් සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව මගිනි.එය සමස්ත රටම ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් විය.එමගින් සියවසකටත් වැඩි කලක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරී භාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය නැවතත් මෙරටටම හිමි කරගැනීමට හැකි විය.

මෙම සුවිශේෂී ජයග්‍රහණය සිහිපත් කරමින් 1972 වසරට පසු වසරවලදී මැයි මස 22 වන දින ජනරජ දිනය, රාජ්‍ය උත්සවයක් වශයෙන් ඉමහත් උත්සවශ්‍රීයෙන් සමරණ ලද අතර මේ වනවිට රාජ්‍ය මට්ටමෙන් එම සැමරුම උත්සවාකාරයෙන් නොපැවැත්වේ.

More articles

Latest article