29 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

එන්නත් සෙවීමට පෙර රෝගය පාලනයට පියවර ගන්න – රනිල් වික්‍රමසිංහ

Must read

කොරෝනා වසංගත තත්ත්වය අතිශය උග්‍ර වී තිබෙන මේ අවස්ථාවේ කළ යුතු වන්නේ එන්නත් සෙවීම සඳහා කාලය වැය කිරීම නොව රෝග ව්‍යපෘතිය පාලනයට පියවර ගැනීම යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොරෝනා වසංගතය පැතිරීම නතර කර ගැනීම සඳහා එංගලන්තය මාසයක් වසා තැබූ බව සිහිපත් කළ රනිල් වික්‍රමසිංහ මහතා වෛරසය ශරීරගත වී තව කෙනෙකුට බෝවිය හැකි සති දෙකක කාල සීමාව වත් අඩුම තරමින් රට වැසීමට ක්‍රියාකළ යුතුව ඇතැයිද කියා සිටියේය.

ආර්ථිකය කඩා වැටෙනවා යැයි කියමින් රට නොවසා සිටීමෙන් පලක් නොවෙතියි ද දැනටමත් ලංකාවේ ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්ව ඇතැයි ද කියූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් රජය බැලිය යුත්තේ රුපියල් ශත ගැන ද නැතිනම් ජීවිත ගැන දැයි කියා තීරණය කළ යුතුව ඇතැයි සඳහන් කළේය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති සාකච්ඡාවකදී ය.දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විස්තර කළේය.

රට වසා දැමූයේ උවමනා නැති කාලයේ දී බවත් දැන් රට වසන්නට අවශ්‍ය කාලයේදී විවෘත කරගෙන සිටීමෙන් කිසිදු ප්‍රයෝජනයක් අත්වන්නේ නැතැයි ද වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

ඇමෙරිකා ඩොලරය රුපියල් දෙසීයට ගියේ කොරෝනා වසංගතය නිසා නොවන බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා පළමුව වසංගතයේ පැතිරීම කෙසේ හෝ නතර කරගත යුතුව ඇතැයිද කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යන විට කළ යුත්තේ ආසාදිතයන් අඩු කරගැනීමට පියවර ගැනීමයි. එන්නත් සෙවීමට කාලය නාස්ති කර දැන් පලක් නැහැ. වහ වහා කළ යුත්තේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමයි. වසංගතයේ පැතිරී යාම නවතා ගැනීමට නම් අඩුම තරමින් සති දෙකක්වත් රට වසා තැබිය යුතුයි. එලෙස රට වසා තබන කාලය අතරතුර සෞඛ්‍ය අංශ උපදෙස් අනුව එක් දිනයක් රට විවෘත කිරීමේ වරදක් නැහැ. එංගලන්තය වසංගතය පැතිරීම නවතා ගත්තේ එකදිගටම රට මාසයක් වසා තැබීමෙනුයි.

වෛරසය තව කෙනෙකුට බෝ වීමට ගතවන සති දෙකක කාලය සැලකිල්ලට ගෙන රට වසා තබන කාලය තීරණය කළ හැකියි.රට වසා තැබුවා යැයි කියා ආර්ථිකය අමුතුවෙන් කඩා වැටෙන්නට දෙයක් නැහැ. අද ලංකාවේ ආර්ථිකය කොහොමත් කඩා වැටී ඉවරයි.
මා ප්‍රකාශ කළ ආකාරයට ජනවාරි පෙබරවාරි මාස වල එන්නත ඇණවුම් කළා නම් මේ වන විට ඒවා විද අවසන් කරන්න තිබුණා.ඇමරිකාව ඇස්ට්‍රා සෙනිකා එන්නත් මිලියන හැටක් අනෙක් රටවල් වලට ලබා දී තිබෙනවා.

මොඩානා සහ ෆයිසර් එන්නත් මිලියන විස්සක් ද මෙලෙස ලබා දී තිබෙනවා. ඇමරිකාව සියලු එන්නත් දුන්නේ නොමිලේ. චීනය එන්නත් මිලියන 250ක් එක්කෝ පරිත්‍යාග කළා. නැතිනම් අලෙවි කළා .චීනයේ එන්නත් නිෂ්පාදනය කෝටි 65 ක් වනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පර්යේෂණාගාරයේ හලාල් සහතිකය සහිතව එන්නත් නිෂ්පාදනය කරනවා.

මියන්මාරය සහ බංග්ලාදේශය යන රටවල් කලින්ම එන්නත ඇනවුම් කළ නිසා ඒවාට එන්නත් තොග ලැබුණා .වැඩ පිළිවෙළක් නැති රජයට එන්නත් ටිකවත් නිසි වේලාවට ඇනවුම් කරන්න බැරි වුණා .ආර්ථිකයට පහර වැදීම රටවල් ගණනාවකට සිදුවී තිබෙනවා .මේ අවස්ථාවේ කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව වැඩ කිරීමයි. රාජපක්ෂ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකාවිදැයි කියා නම් මට කියන්න බැහැ. මෙරට එන්නත දීමට නියමිත ජනගහනයට එන්නත දෙන්න වැය වන්නේ ඩොලර් මිලියන 200යි. ඒ මුදල සොයා ගැනීම රජයේ වගකීමයි යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

More articles

Latest article