33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

වසර 30කට පසු ශ්‍රී ලංකාවේදී සිංහයෝ කැන්ගරුවන් පරදවයි

Must read

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ ඊයේ පැවැති දිවා රාත්‍රී සිවුවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 4ක ඓතිහාසික ජයක් ලබයි. ඒ අනුව තරග 5කින් සමන්විත දිවා – රාත්‍රී එක්දින තරගමාලාවේ තවත් තරගයක් ඉතිරිව තිබියදී තරග 3-1කින් ශ්‍රී ලංකාව ජය තහවුරුකර ගත්තේය.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අසහනයට පත්ව සිටින ශ්‍රී ලංකා වාසීන්ට පිට පිටම ලබාගත් තරග තුනක ජයග්‍රහණයෙන් සතුට ගෙනදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වීම සදා මතකයේ රැඳෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වසර 30කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි ජයක් වාර්තා කළ පළමු අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ රනින් ලියැවිණි. 1992දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් සිංහයෝ ඇලන් බෝඩර්ගේ කැන්ගරු පිලට ආර්. ප්‍රේමදාස පිටියේදීම එලෙස බැටදී තරගාවලි ජයක් වාර්තාකර තිබිණි.

ශ්‍රී ලංකාව අවසන් වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් ජයග්‍රහණය කර ඇත්තේ 2010 වසරේදී වන අතර, එය ඔස්ට්‍රේලියාවෙදී 2010 නොවැම්බරයේ තරග 3කින් සමන්විත තරගාවලියේදී වාර්තා විණි. මෙල්බර්න් හා සිඩ්නි ක්‍රීඩාංගණවල තරග දෙකේ ජය ශ්‍රී ලංකාව ලබා 2-1ක් ලෙස තරගාවලි ජය ශ්‍රී ලංකාව සතුකර ගත්තේය. ඉන් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව වසර 12කට පසු ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළේ ද ඊයේ වීම විශේෂත්වයකි.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, එය ආර්. ප්‍රේමදාස පිටිය වැනි ඓතිහාසික වශයෙන් රාත්‍රී කාලයේ හඹා යෑම් දුෂ්කර තණතිල්ලක අසාමාන්‍ය තේරීමකි. ඔවුන් මේ තණතිල්ලේ පළමුව පන්දුවට පහර දුන් තුන්වන එක්දින තරගය පරාජයට පත් වූ බැවින් එම අභියෝගාත්මක තීරණයට එළැඹුන ද එය සිය දිවිනසා ගැනීමක් බඳු විය.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර් 49කදී සියලු දෙනා දැවී ලකුණු 258ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ලකුණු 254කට දැවී ගියේය. ඔස්ට්‍රේලියාවට අවසන් පන්දු ඕවරයේදී කඩුල්ලක් අතැතිව ලකුණු 19ක් ලබාගත යුතුව තිබුණද එය සිහිනයක් විය. වේග පන්දු යැවූ චාමික කරුණාරත්න කඩුලු 2ක්, දඟ පන්දුවෙන් විකුම් පෑ ධනංජය ද සිල්වා හා ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2ක බැගින් බිඳහෙලා ශ්‍රී ලංකාව ජය මාවත කර රැගෙන ගියහ.

පන්දු 9ක් තුලදී කඩුලු තුනක් දවා ගනිමින් ධනංජය හා තීක්ෂණ දෙදෙනා වෝනර්, ට්‍රැවීස් හේඩ් හා ග්ලෙන් මැක්ස්වෙල් දවා ගැනීම මේ තරගයේ හැරවුම් ලක්ෂය විය.

ධනංජයගේ පන්දුවකට ලකුණු 27ක් ලබාසිටි ට්‍රැවීස් හේඩ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර, මහීෂ් තීක්ෂණගේ පන්දුවකින් එම වරදටම හසුවෙමින් ග්ලෙන් මැක්ස්වෙල් එක් ලකුණකට දැවී ගියේය. දඟ පන්දු යවන්නන් 6කගේ පීඩනය මැද නොසැලී හිස එසැවූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 112කදී හතරේ 12ක් සමග ලකුණු 99ක් ලබා සිටියදී දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් විය. වෝනර් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී දික්වැල්ල ‘ස්ටම්ප්‘ කිරීමෙන් ශතකය පෙනි පෙනී වේදනාබර සිතින් වෝනර් ක්‍රීඩාගාරයට පිය මැන්නේය. එය ඔහුගේ සදා මතකයේ රැඳෙන 35වැනි එක්දින අර්ධ ශතකය විය.

පැට් කමීන්ස් හා මැතිව් කුනේමන් පන්දු 20කදී ලකුණු 17ක සබඳතාවක් 9වැනි කඩුල්ලට ගොඩනගමින් සිටියදී චාමික කරුණාරත්නගේ වේග පන්දුවක් කමීන්ස්ගේ පසු පාදයේ වැදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යෑමෙන් ඔස්ට්‍රේලියාව පරාජයේ මාවතට වැටිණි.

ආරම්භයේදීම නායක ආරොන් ෆින්ච් ලකුණු බිංදුවකට දවා ගැනීමට කණ්ඩායමේ සිටි එකම වේග පන්දු යවන්නා වූ චාමික කරුණාරත්න සමත්වූ අතර, එවිට ඔස්ට්‍රේලියා ලකුණු පුවරුව කඩුලු එකකට ලකුණු 3ක් විය. අනතුරුව වෝනර් සමග එක් වූ මිචෙල් මාෂ් පන්දු 27කදී ලකුණු 26ක් ලබා ගත්තේය. ඇලෙක්ස් කේරි ලකුණු 19ක් ලබා සිටියදී වනිඳු හසරංග‍ගේ පන්දුවක් හමුවේ ඩීප් මිඩ් විකට් කලාපයේ පන්දු රකිමින් සිටි ජෙෆ්රි වැන්ඩ‍සේ අත‍ට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ චරිත් අසලංක තම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් දිවියේ මංගල එක්දින ශතකය වාර්තා කිරීමෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ප්‍රබල දායකත්වයක් සැපයීය. එක්දින වරම් ලබා වසරක් ගෙවීමට තවත් දින 8ක් තිබියදී අසලංක වාර්තා කළ ලකුණු 110 වෙනුවෙන් ඔහු වැය කළේ පන්දු 106ක් පමණි. 24 හැවිරිදි අසලංක පන්දු 99කදී ලකුණු 100 සම්පූර්ණ කළ වහාම වේග පන්දු යවන පැට් කමින්ස්ගේ කෙටි පන්දුවකට ‘ස්කුවයාර් ලෙග්‘ හරහා දැවැන්ත හයේ පහරක් එල්ල කළ අතර, ඉනිමට හතරේ පහර 10ක් ද එක්කර ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු තුන ලකුණු 34කට දැවීගොස් තිබියදී පිටියේ එක්වූ ධනංජය ද සිල්වා හා චරිත් අසලංක පන්දු 100ක් තුලදී ලකුණු 101ක් එක්කර ගත් අතර, එය ඉනිමේ හොඳම සබඳතාව විය. කඩා වැටෙමින් තිබූ ඉනිමට ශක්තිමත් මුක්කුවක් ගැසූ මේ දෙදෙනා වෙන් කිරීමට මද වේග පන්දු යවන මිචෙල් මාෂ් සමත් විය.

වසර 2012 ජනවාරි මාසයේදී ඉවත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ජෙෆ් මාෂ්ගේ පුත්‍රයා වූ මිචෙල් මාෂ් එවූ පන්දුවකට ධනංජය එල්ල කළ ‘පුල්‘ පහර මැක්ස්වෙල්ගේ හිසට ඉහළින් යද්දී එක් අතකින් උඩ පන්දුවක් බවට පරිවර්තනය කර ගැනීම තරගයේ අලංකාර දසුනක් විය. 30 හැවිරිදි ධනංජය ද සිල්වා තම 60 වැනි අන්තර්ජාතික එක්දින තරගයේදී 8වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර, පන්දු 61කදී හතරේ පහර 7ක් සමග ලකුණු 60ක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා ඉනිම නරක ලෙස ආරම්භ වූවා සේම දුර්වල ලෙස අවසන්වීම ද කැපී පෙනිණි. අවසන් කඩුලු 5 ලකුණු 51කට දැවී ගිය අතර, එක් ඕවරයක් භාවිතයට නොගෙන ඉතිරි විය. එසේ නොවන්නට ලකුණු 275ක් ලබාගත හැකිව තිබිණි.

නායක දසුන් ශානක පන්දු 8කට පමණක් මුහුණදී ලකුණු 4කට දුවද්දී දැවී යද්දී දුනිත් වෙල්ලාලගේ පිටියට එවීම ශ්‍රී ලංකා පිලේ නිවැරදි තීරණයකි. තමන් ක්‍රීඩා කරන හතරවැනි එක්දින තරගය වුවද වෙල්ලාලගේ පරිනත පිතිකරුවකු මෙන් තණතිල්ලේ හැසිරුණි. ලකුණු අතර සිටි චරිත් අසලංකට අනගි සහයක් ලබාදෙමින් හයවැනි කඩුල්ලට පන්දු 64කදී ලකුණු 57ක් එක් කළේය. වෙල්ලාලගේ පන්දු 35කදී ලකුණු 19ක් ලබා ගත්තේය.ලොව දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හා චරිත් අසලංක එක්ව 8වැනි කඩුල්ලට පන්දු 29කදී ලකුණු 34ක් එක් කළ අතර, ඉතිරි කඩුලු දෙකම ඉක්මනින් දැවී ගියහ.

ඔස්ට්‍රේලියානු පිලේ ආරාධනාවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල අනවශ්‍ය ලෙස මැක්ස්වෙල්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී විකට් රකින කෙරී ස්ටම්ප් කිරීමෙන් ලකුණු 1කට දැවී ගිය අතර, පැතුම් නිශ්ශංක ලකුණු 13කදී දැවී ගියේය. ඔස්ට්‍රේලියා මද වේග පන්දු යවන්නන් වූ කමීන්ස් හා මාෂ් මෙන්ම දඟ පන්දු යැවූ මැතිව් කුනේමන් කඩුලු 2 බැගින් බිඳහෙලා ගත්හ.

මේ සංචාරයේ අවසන් දිවා රාත්‍රී එක්දින තරගය 24දා ආර්. ප්‍රේමදාස පිටියේදී පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතය.

More articles

Latest article