34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

හදිසි නීතියට එරෙහිව ගොනුකළ පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

Must read

ජනාධිපති වරයා විසින් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති රෙගුලාසි පැනවීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලීම සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රජීව් ගුණතිලක මහතා සඳහන් කළේ, එම පෙත්සම් සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.

එමෙන්ම අදාළ පෙත්සම් එම අවස්ථාවේදී සලකා බැලීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලා විභාගයට ගැනීමට අවසර දීම සඳහා විනිසුරුවරු දෙදෙනකු ප්‍රමාණවත් වුවත් අදාළ පෙත්සම්වල අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති හෙයින් අදාළ පෙත්සම් සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබිය යුතු බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ, හදිසි කරුණක් මත එම පෙත්සම් ගොනු කර ඇති බැවින් ඒවා සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව එම පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙස ද අධිකරණය නියෝග කළේය.

ලිබරල් තරුණ ව්‍යාපාරයේ සහ කැඳවුම්කරුවන් වන නීතිඥ නාමිණී පණ්ඩිත සහ රුසිරු එගොඩගේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුනනාදන් මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් එම පෙත්සම් ගොනු කර තිබුණි.

මෙහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, නීතිපති වරයා, හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න යන අය නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් ජූලි 18 වනදා ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති රෙගුලාසි පැනවීමට කටයුතු කළ බවය.

හදිසි නීති රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදන දෙක බලරහිත කරන ලෙස සහ එම හදිසි නීති රෙගුලාසි මත කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම්වලින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

More articles

Latest article