33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා එක්ව “Business Against Corruption” දියත් කරයි

Must read

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනික සහ ආර්ථික අර්බුදයට හේතු වූ මූල සාධකය ලෙස විශ්ලේෂකයන් විසින් දූෂණය හඳුනාගෙන ඇත. ව්‍යාපාරික, මහජන සහ රාජ්‍ය යනාදී මට්ටම්වල එය පැතිර පවතින අතර, රටේ ආර්ථිකය ගොඩ ගැනීම සහ දිගුකාලීන තිරසරබව තහවුරු කිරීමේ දැක්මෙන් යුතුව, පවතින අර්බුදයට විසඳුමක් සෙවීමේ ජාතික ප්‍රයත්නයේ දී ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය. දූෂණය විසින් ආයෝජකයන් අධෛර්යමත් කිරීම, ආයෝජන අවස්ථා අහිමි කිරීම, සම්පත් ප්‍රතිපාදනය කිරීමේ දුෂ්කරතා සහ අස්ථාවර තත්ත්වයන් නිර්මාණය කරන අතර මෙමගින් අධික සමාජ පිරිවැයක් ඇති වේ. දූෂණය අවම කිරීම මගින් යහපත් සහ දිගුකාලීන ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව ආකර්ෂණීය ආර්ථික මර්මස්ථානයක් බවට පත් වනු ඇත.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පැතිරෙමින් තිබෙන වසංගත තත්ත්වයක් බඳු දූෂණය තවමත් එලෙසින් ම පවතියි. ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 180ක රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය (TI) විසින් සිදු කරන ලද 2021 දූෂණ සංජානන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 102 වන ස්ථානයේ පසු වේ. “පාලනය ශක්තිමත් කර දූෂණ තත්ත්වයන් අවම කිරීමේ ප්‍රයත්න නොකඩවා පවත්වා ගත යුතුයි” යනුවෙන් එම වාර්තාවේ IV වන වගන්තියෙහි සඳහන් ව ඇත. ව්‍යාපාර අංශයේ දූෂණය පිටුදැකීමට සහ ඒ හා සටන් කිරීමට ශක්තිමත් නෛතික පද්ධතියක් ශ්‍රී ලංකාව සතුව නොමැති පසුබිමක, ව්‍යාපාරික අංශය විසින් සදාචාරාත්මක ප්‍රමිතීන් සහ ව්‍යාපාරවල සුපිළිපන් බව පවත්වා ගැනීමට අදාළ අන්තර්ජාතික භාවිතයන් සහ විකල්ප මාර්ග දෙස ස්වේච්ඡාවෙන් යොමු වීම අත්‍යවශ්‍ය වේ.

සිය අභ්‍යන්තරික උපායමාර්ග සහ ගනුදෙනුවලදී මුහුණ දෙන දූෂණයට ක්‍රමානුකූලව විරුද්ධ වීමට හැකි සාමූහික ව්‍යාපාර සැලැස්මක කොටස්කරුවෙකු වෙමින්, දූෂණය මුලිනුපුටා දැමීමේ ජාතික අවශ්‍යතාවට ප්‍රතිචාර දක්වා, ව්‍යාපාරික ආයතන පෙරට පැමිණිය යුතු කාලය එළඹ ඇති බව ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය (SLID) විශ්වාස කරයි.

අප මුහුණ පාමින් සිටින බරපතළ තත්ත්වය වැනි අර්බුද විසින් පුද්ගලයන් සහ ඔවුන් ආශ්‍රිත පද්ධති ක්ෂය වීමකට ලක් කරයි. පුරවැසියන් වශයෙන් අප දිගුකාලීනව රටට හිතැති සහ නිවැරදි දේ පසුපස හඹා යා යුතු අතර පටු කෙටිකාලීන අවශ්‍යතාවලින් ඔබ්බට යා යුතුය. අප රටේ හැරවුම් ලක්ෂයක් වන මේ මොහොතේ දී, සුදුසු, දිගුකාලීන ව්‍යූහාත්මක වෙනස්කම් සිදු කිරීම අනිවාර්ය වේ. ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය විසින් Business Against Corruption (දූෂණ විරෝධී ව්‍යාපාර) නම් තේමාව යටතේ නවමු වැඩසටහනක් දියත් කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ආයතනය සමඟ මෑතක දී උපායමාර්ගික සහයෝගිතාවකට එළඹෙන ලදි. මෙම තේමාව යටතේ, දූෂණයට ඇති අවදානම අවම කිරීම සඳහා ව්‍යාපාරවලට පහසුකම් සැලසීම සහ සහය දැක්වීම අපේක්ෂා කෙරේ. ඉහළ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් ශක්තිමත් අභ්‍යන්තරික රාමුවක් නිර්මාණය කිරීම උදෙසා සදාචාරාත්මක ව්‍යාපාරික පිළිවෙත්, සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය, සාධාරණ මිල ගණන් සහ විශ්වසනීය නායකත්වය යනාදි අංශ දිරිමත් කිරීම තුළින් විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්න බව පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති කරවීමට මෙම පෙර දැක්ම සැලසුම් කර ඇත. විෂයට අදාළ මනා පරිචයන් අන්තර්ගත පුහුණු වැඩසටහන් මෙන් ම, සාකච්ඡා සඳහා ප්‍රධාන පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීම ඇතුළු දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් මාලාවක් මගින් එකී සැලැස්ම වසර වසර තුනක් තුළ ක්‍රියාවට නැංවෙනු ඇත.

“රටේ වත්මන් තත්ත්වය, බිම් මට්ටමේ සැබෑ ස්වරූපය සහ ව්‍යාපාර කටයුතුවල නියැලෙන ප්‍රජාව මුහුණ දෙන අභියෝග පිළිබඳ අපි කල්පනාවෙන් පසු වෙනවා. එම නිසා, මේ සම්බන්ධයෙන් අපේ ප්‍රායෝගික ප්‍රවේශය ඔස්සේ ව්‍යාපාරවලට ප්‍රගාමීව සහ ක්‍රමානුකූලව දූෂණය පිටුදැකීමටත්, සිය කැමැත්තෙන් සහ උපරිම පරිශ්‍රමයකින් සංවරණ සහ තුලන ස්ථාපිත කිරීමටත් හැකි වේවි.” SLID සභාපති ෆයිසාල් සාලිහ් එලෙස අදහස් දැක්වීය.

TISL ආයතනයෙහි විධායක අධ්‍යක්ෂිකා නදීශානි පෙරේරා මෙලෙස අදහස් දැක්වීය. “ඕනෑම රටක දූෂණ විරෝධී උත්සාහයන් තුළ තීරණාත්මක භූමිකාවක් ව්‍යාපාර ඉටු කරනවා. ජනතාව දූෂණයට එරෙහිව නැගී සිටින ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පෙර නොවූ විරූ මෙවන් පරිවර්තනීය යුගයක දී, මේ මෙහෙවර උදෙසා ව්‍යාපාර ප්‍රජාව ද කැපවීම අතිශයින් වැදගත්. රට වෙනුවෙන් අලුත් වූ සුබවාදී බලාපොරොත්තුවකින්, ‘Business Against Corruption’ හට සහාය දැක්වීමට SLID සමඟ එක් වීම, TISL ආයතනය මහත් ගෞරවයක් ලෙස සලකනවා.”

අප දේශයේ සුපිළිපන්බව ඔප් නංවමින්, එය වඩාත් හොඳ ආයෝජන ගමනාන්තයක් බවට පත් කිරීමේ අරමුණෙන් ව්‍යාපාරික ප්‍රජාව සමඟ සමීපව කටයුතු කිරීමට SLID සහ TISL ආයතන කැප වී සිටියි.

More articles

Latest article