33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ඩුබායි සංචාරයට අවසර ඉල්ලුවේ නිල රාජකාරිවලටයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Must read

රුපියල් මිලියන ගණනක් වැය කරමින් නිලධාරීන් 7 දෙනකුට විනෝදය සඳහා විදේශ සංචාරයකට අවසර ඉල්ලා සිටී බව සඳහන් කරමින් අර්ජුන රණතුංග මහතා විසින් කරනු ලැබූ බව කියන ප්‍රකාශයක් පිළිබඳ පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.

ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා සිටියේ අදාළ නිලධාරීන් 7දෙනාට රාජකාරී සඳහා විදෙස්ගත වීමට බවත්, එම නිලධාරීන් විධායක කමිටුවේ සාමාජිකයන් බවත් එම නිවේදනයේ සඳහන් වේ. ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයන් විදේශ සංචාර සඳහා සහභාගි වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා නිල රාජකාරි කටයුතු සඳහා මිස අන් කිසිදු කරුණකට නොවන බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ආසියා කුසලාන තරගාවලියට සත්කාරකත්වය සපයන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම සංචාරය අතරතුර සෙසු සාමාජික රටවල නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලි සැලසුම් කිරීමට සහ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වූ බවත්, ශ්‍රී ලංකාවට අතිවිශාල වාණිජමය අවස්ථා උදා කරගැනීම සඳහා පෞද්ගලික අංශයේ නියෝජතයන් සමඟ සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. මීට අමතරව ආසියා ක්‍රිකට් කවුන්සිලය සමඟද සාකච්ඡාවක නිරත වීමට බලාපොරොත්තුවෙන් පසු වූ බවද ක්‍රිකට් ආයතනය දන්වා සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීනව පරිපාලන කටයුතු සිදුකරන ආයතනයක් බැවින් එහි මෙහෙයුම් කටයුතු සඳහා වැය කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර තරගාවලි, අනුග්‍රාහකත්ව අලෙවි කිරීම, විකාශන අයිතිය අලෙවි කිරීම සහ අයිසීසී ය සිය සාමාජික රටවල් අතර බෙදා හරිනු ලබන අරමුදල් හරහා උපයාගත් මුදල් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

More articles

Latest article