29 C
Colombo
බදාදා, මැයි 22, 2024

කොවිඩ්-19 වසංගත තත්ත්වය මැද වුවද කොටස් වෙළෙඳපොළ 50%කින් වර්ධනය වෙයි

Must read

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුවද පසුගිය මාස දහයක කාලයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියයට 50කින් වර්ධනය වී තිබේ.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වාර්තාවලට අනුව මේ වසරේ මුල් මාස 10 තුළ දී සියලු කොටස් මිල දර්ශකයට අනුව සියයට 50.02 කින් හා එස්. ඇන්ඩ් පී දර්ශකයට අනුව සියයට 40.58 කින් වර්ධනය වී ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම වාර්තාව නැවත වරක් අලුත් කරමින් මෙතෙක් ඉතිහාසයේ වැඩිම අගය පසුගිය (29) දින වාර්තා කළ අතර ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,162.93ක් ලෙසින් සටහන් වූ බවද එය පූර්ව දිනයට සාපේක්ෂව ඒකක 25.08ක් හෙවත් සියයට 0.25ක ඉහළ යාමක් බවද කොළඹ කොටස් වෙළෙඳපොල පවසයි.

මේ අතර එස් ඇන්ඩ් පී දර්ශකය ද ඉතිහාසයේ ඉහළම අගය සනිටුහන් කිරීමට සමත්වූ අතර දිනය අවසානයේ දී ඒකක 3,708.52ක් දක්වා ඉහළ යාමක් පෙන්නුම් කෙරිණි. එදින පිරිවැටුම රුපියල් බිලියන 4.93ක් ලෙසින් සටහන් වූ අතර එයින් රුපියල් බිලියන 4.90ක්ම දේශීය මිල දී ගැනීම්වලින් සමන්විත විය. එහිදී විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 29.10ක් තරම් කුඩා මට්ටමක පැවතුණි. තවද දේශීය විකුණුම් රුපියල් බිලියන 4.50ක් හා විදේශීය විකුණුම් රුපියල් මිලියන 432.25ක් ලෙසින් වාර්තා විය. ඒ අනුව මේ වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම දේශීය ආයෝජකයන්ගේ සහභාගීත්වය මත ක්‍රියාකාරී වන ආකාරය දක්නට ලැබේ.

ඒ අනුව එදිනට සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 4,529.29ක් වූ අතර එම වටිනාකම මෙම වසර තුළ දී සියයට 52.98කින් වර්ධනය වී තිබෙන බවද කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

More articles

Latest article