32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

කෑගල්ල සජබ කාර්යාලයේ ඝාතනය: තරුණිය මියගියේ වෙඩි වැදී පපු කුහරයට ලේ එකතු වෙලා

Must read

කෑගල්ල සමඟි ජන බලවේග මෙහෙයුම් කාර්යාලයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව සිටි තරුණියගේ බෙල්ල තද කිරීමෙන් සහ රිවෝල්වරයකින් වෙඩි වැදීමක් නිසා මහා ධමනියේ ඇති වූ ඉරීමකින් වම් පපු කුහරයේ රුධිරය එකතු වීම නිසා ඇති වූ කම්පන තත්ත්වයකින් වූ හදිසි මරණයක් බවට කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි තරංග බණ්ඩාර නායකරත්ත මහතා ඊයේ (02) පැවසීය.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ කෑගල්ල පොලිස් වසමේ අංක ජේ 115/1 ලිපිනයේ පදිංචිව සිටි අහංගම විදාන ආරච්චිලාගේ සකුන්තලා වීරසිංහ නමැති 38 හැවිරිදි අවිවාහක තරුණියකි.

මේ ඝාතනය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ කෑගල්ල ආසන සංවිධායක දිසානායක මුදියන්සේලාගේ ලක්ෂ්මන් දිසානායක මහතා පෙරේදා 01 දා සිද්ධිය වූ කාර්යාලයේ සිටියදී කෑගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර, සැකකරු ඊයේ 02 දා කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැප්තැම්බර් 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

ජීවිතක්ෂයට පත්ව සිටින තරුණිය සමඟි ජන බලවේගයේ කෑගල්ල ආසන්න සංවිධායක දිසානායක මුදියන්සේලාගේ ලක්ෂ්මන් දිසානායක මහතාගේ කෑගල්ල කළුගල්ල මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ වසර 17කට ආසන්න කාලයක් සේවය කර ඇති බව පොලිසිය පැවසීය. පෙරේදා 01 දා පෙරවරුවේද ආසන සංවිධායකවරයා තරුණියගේ හබුදුගල පිහිටි නිවෙසට ⁣ගොස් පැජරෝ රථයෙන් කෑගල්ල නිදහස් මාවතට රැගෙන පැමිණ එතනින් පා ගමනින් තරුණිය සමඟ පෙරවරු 7.30ට කාර්යාලයට පැමිණ තිබේ.

පසුව ආසන සංවිධායකවරයා පෙරවරු 8.30ට පමණ තරුණියගේ බාල සහෝදරයාට සිද්ධිය සම්බන්ධයෙන් දැන්වීමට හබුදුගල නිවෙසට යන අවස්ථාවේදී බාල සහෝදරයා අතර මඟදී මුණ ගැසී සිද්ධිය දන්වා තිබේ. පසුව 119 දුරකතන අංකයට යම් පුද්ගලයෙක් සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දීමක් කර තිබේ.

පසුව කෑගල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ පක්ෂ කාර්යාලයට ගොස් මූලික විමර්ශන කටයුතු කර කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරිණ. පසුව කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික විමර්ශන කටයුතු කර දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් දේහය මවට භාර දෙන ලෙසත් නියෝග කළාය.

පසුව ජීවිතක්ෂයට පත්ව සිටි තරුණියගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ 02 දා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි තරංග බණ්ඩාර නායකරත්ත මහතා විසින් සිදු කෙරිණි. එහිදී වෛද්‍යවරයා බෙල්ලට වෙඩි වැදීමක් නිසා මහා ධමනියේ ඇති වූ ඉරීමකින් වම් පපු කුහරයේ රුධිරය එකතු වීම නිසා ඇති වූ කම්පන තත්ත්වයක් බව තරුණියගේ මව වන චන්ද්‍රවතී නමැත්තියට පැවසීය.

මෙහිදී අත්අඩංගුවට ගත් රිවෝල්වරය විදේශ රටක නිෂ්පාදිත එකක් වන අතර, එය මිලි මීටර් 38 එකක් බවත් උණ්ඩ 6ක් යෙදිය හැකි බවත් හිස් කොපුවක් සමඟ උණ්ඩ 3ක් තිබුණු බවත් පොලිසිය පැවසීය.

කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල බණ්ඩාර, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.යූ. එදිරිසිංහ, පොලිස් පරීක්ෂක කරුණාතිලක, උප පොලිස් පරීක්ෂකවරුන් වන ප්‍රියලාල්, අනුර කුමාර, මහින්ද සැරයන් නිශ්ශංක (18060), කුමාර (37518), පොලිස් කොස්තාපල් කපුකොටුව (29116) යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කළහ. නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් වසන්ත කුමාර (36859) සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

More articles

Latest article