34 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

රාජ්‍ය වියදම් කළමනාකරණයට යටත්ව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රාජකාරී කටයුතු සඳහා පහසුකම්

Must read

රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයෙන් පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

රටේ පවතින ආර්ථීක, සමාජීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදුවී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වා දී තිබේ.

ඒ අනුව, රජයේ වියදම් කළමනාකරණය සඳහා, විශේෂ විධිවිධාන සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරු වෙත ලිඛිත උපදෙස් ලබාදී ඇත.

ජනාධිපතිවරයා විසින් පත් කළ රාජ්‍ය අමාත්‍යවරුන් සිය රාජකාරී කටයුතු සිදු කරගෙන යාමේදී එම නියමයන්ට අනුව පහසුකම් සැලස්විය යුතු බවත් දන්වමින් ජනාධිපති ලේකම්වරයා සියලු අමාත්‍යාංශ ලේකම්වරු වෙත මෙම උපදෙස් නිකුත්කර ඇත.

මේ අතර රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වෙනම වැය ශීර්ෂයක් වෙන් කෙරෙන අතර ඒ සඳහා ලේකම්වරයෙක් පත්නොකරනු ඇත.

එම රාජ්‍ය අමාත්‍යාංශ සඳහා අදාළ කැබිනට් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨතම අතිරේක ලේකම්වරයෙකු යෙදවිය යුතුය.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇති අමාත්‍යාංශ සඳහා දැනට අනුමත කාර්යමණ්ඩලයෙන්ම කාර්යමණ්ඩල අවශ්‍යතා සපුරාදිය යුතු අතර ඒ වෙනුවෙන් නව තනතුරු ඇති කරගැනීම සඳහා වන ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතු බවද එහි සඳහන්ය.

කාර්යාල පවත්වාගෙන යාම සඳහා දැනට අදාළ කැබිනට් අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන කාර්යාල පරිශ්‍රය තුළම පහසුකම් සලසාගත යුතුය.

රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්යමණ්ඩලයේ පෞද්ගලික ලේකම්වරයා වෙත පමණක් නිල වාහනයක් ලබාගැනීම සඳහා හිමිකම් ඇති බවද එහි සඳහන් වෙයි.

සහාය කාර්යමණ්ඩලයේ අනෙකුත් නිලධාරින් සඳහා පොදු වාහන 02ක් පමණක් වෙන්කර දිය යුතු අතර අමාත්‍යාංශය සතු වෙනත් සංචිත වාහන එකී නිලධාරීන්ගේ අවශ්‍යතා සඳහා භාවිත නොකළ යුතුවෙයි.

පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරී සඳහා අනුමත උපරිම සීමාවට යටත්ව සන්නිවේදන දීමනාව ලබාදිය යුතු අතර සහාය කාර්යමණ්ඩල සඳහා රජයේ වියදමින් ජංගම දුරකථන ලබානොදිය යුතු බව ජනාධිපති ලේකම්වරයාගේ නියෝගවල සඳහන් වෙයි.

More articles

Latest article