27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

දකුණු අප්‍රිකා විස්සයි 20 වෙන්දේසිය: කුසල් ලක්ෂ 86කට – මධුසංඛ ලක්ෂ 56කට විකිණෙයි

Must read

දකුණු අප්‍රිකා විස්සයි 20 ලීග් තරගාවලි ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් රුපියල් ලක්ෂ 86කට හා වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ රුපියල් ලක්ෂ 56කට වෙන්දේසි වෙයි. දකුණු අප්‍රිකා විස්සයි 20 ලීග් තරගාවලි ක්‍රීඩක වෙන්දේසිය ඊයේ අලුයම් කාලය වනතුරුම පැවැති අතර කුසල් මෙන්ඩිස් අප්‍රිකානු රෑන්ඩ් 425000කට ප්‍රිටෝරියා කැපිටල්ස් පිල විසින් මිලදී ගත්තේය. ඩිල්ෂාන් මධුසංඛ ඩර්බන් සුපර් ජයන්ට්ස් පිල මිලදී ගත්තේ අප්‍රිකානු රූන්ඩ් 275000ක මුදලකටය.

මෙම ක්‍රීඩක වෙන්දේසියට පෙර ලංසු තැබීමේදී මහීෂ් තීක්ෂණ ජොහැන්ස්බර්ග් සුපර් කිංග්ස් පිල විසින් මිළදී ගත් හෙයින් මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනකු ඇතුලත්ව සිටිති.

මෙම වෙන්දේසියේදී සන්රයිසස් ඊස්ටන් කේප් පිල වෙනුවෙන් දකුණු අප්‍රිකා ක්‍රීඩක ට්‍රිස්ටාන් ස්ටබ්ස් අප්‍රිකා රෑන්ඩ් මිලියන 9.2ක මුදලකට ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 18ක්) වෙන්දේසි වූ අතර එය ක්‍රීඩකයෙකු අලෙවි වූ වැඩිම මුදල වේ. 22 හැවිරිදි ස්ටබ්ස් පසුගිය අයිපීඑල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කළ කඩුලු රැකීමේ හා පිතිකරණයේ දක්ෂයෙකි.

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් නායක ඩීන් එල්ගර් හා එක්දින හා විස්සයි 20 නායක ටෙම්බා බවුමා යන ක්‍රීඩකයන් දෙදෙනා වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් සැලකිල්ලට නොගැනීම විශේෂත්වයකි.

දකුණු අප්‍රිකා විස්සයි 20 ලීග් තරගාවලියට ඉහළම මිලක් නියම කළ ක්‍රීඩකයන් අටදෙනා අතර සිටි චාමික කරුණාරත්න වෙන්දේසියේදී අලෙවි නොවූ අතර අප්‍රිකා රෑන්ඩ් 1,75,000ක (රුපියල් ලක්ෂ 37ක) මූලික ලංසුවට ඇතුළත් කොට සිටි ප්‍රමෝද් මධුෂාන්, ශෙහාන් මධුසංඛ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ලක්ෂාන් සඳකැන්, දුෂාන් හේමන්ත සහ සුමින්ද ලක්ෂාන් අලෙවි නොවූහ. එමෙන්ම ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්කොට සිටි පැතුම් නිශ්ශංක, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ, අවිශ්ක ප්‍රනාන්දු, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ධනංජය ද සිල්වා සහ ධනුෂ්ක ගුණතිලක ද අලෙවි නොවූ ක්‍රීඩකයන් අතර සිටිති.

More articles

Latest article