31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

කොළඹ නගරයට සූර්ය ශක්ති බෝට්ටු සේවාවක්

Must read

ඉදිරියේදී කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවල සූර්ය පැනල මඟින් ක්‍රියාත්මක වන තවත් බෝට්ටු සේවාවන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මඟින් ක්‍රියාත්මක වන මෙරට පළමු පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් ආරම්භ කරමින් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙය පසුගිය දා (23) ආරම්භ කරනු ලැබූ අතර කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් මෙමගින් වන බවද එමෙන්ම දෙස් විදෙස් සංචාරක ආකර්ශනයට එය හේතුවක් වන බවද ඔහු සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සහ ජෙන්සෝ පවර් ටෙක්නොලජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඒකාබද්ධව මේ පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාව ආරම්භ කර ඇත. සූර්ය පැනල මඟින් ක්‍රියාත්මක වන බැවින් මේ බෝට්ටු ධාවනයේදී ශබ්දයක් පැන නොනගී. එමෙන්ම ඉන්ධන වැයවීමක්ද සිදු නොවේ. ජලජ සත්ත්වයන්ට මෙන්ම දියත උයන ආශ්‍රිතව සැරිසරන කුරුල්ලන්ගේ ජීවන චක්‍රයට බධාවක් ඇතිවන්නේ ද නැත. බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට ⁣ මේ බෝට්ටු මඟින් විනාඩි 30ක් ඇතුළත ළඟාවීමට හැකියාව ඇත. එමෙන්ම බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 200ක මුදලක් අයකෙරෙන අතර අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 300ක මුදලක් අය කෙරේ. දිනපතා කාර්යාලය වේලාවන්හිදී මේ බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර එක බෝට්ටුවක පුද්ගලයන් 8 දෙනකුට ප්‍රවාහන පහසුකම් සැපයේ. එමෙන්ම බත්තරමුල්ල හා ඒ අවට රජයේ හා පෞද්ගලික කාර්යාල, ගේට්වේ ජාත්‍යන්තර පාසල, නාවල විවෘත විශ්ව විද්‍යාලය,176, බස් මාර්ගය,138 සහ 122 බස් මාර්ග,වැල්ලවත්ත දුම්රිය ස්ථානයට මේ බෝට්ටු සේවය මඟින් පහසුවෙන් ළඟාවීමට හැකියාව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ මධුර විතානගේ, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික කොමසාරිස් ශානිකා රණසිංහ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

More articles

Latest article