33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අබුඩාබි T-10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 7ක්

Must read

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අබුඩාබියේ පැවැත්වෙන ටී ටෙන් (දහයයි10) තරගාවලියට තෝරා ගැනේ.

මේ තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් ක්‍රීඩකයන් තෝරා ගැනීම පෙරේදා රාත්‍රියේ සිදු වූ අතර, එහිදී මෙවර තරගාවලියට අලුතින් එක් වන මොරිස්විල් සැම්ප් ආමි කණ්ඩායම විසින් චාමික කරුණාරත්න තෝරා ගැනීමට කටයුතු කර තිබිණි.

නොදන් වොරියස් කණ්ඩායම චමීර තෝරා ගත් අතර, මේ ක්‍රීඩකයන් දෙදෙනා සමඟින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 7 දෙනකුට මෙවර තරගාවලියට එක් වීමේ අවස්ථාව උදා වී තිබේ.

ඒ මේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ක්‍රීඩකයන් 5 දෙනකු කණ්ඩායම් සමඟ ගිවිසුම් ගතව තිබීම හේතුවෙනි. වනිඳු හසරංග, දසුන් ශානක, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ එම ක්‍රීඩකයන් අතරට ඇතුළත් වෙති.

අවසන් වරට පැවති තරගාවලියේදී ශූරතාව දිනාගත් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කරමින් වැඩිම කඩුලු ලාභියා මෙන්ම තරගාවලියේ වීරයා වූ වනිඳු හසරංග මෙවර තරගාවලිය සඳහා නොදර්න් වොරියස් කණ්ඩායම මත ප්‍රධාන සන්නාම ක්‍රීඩකයා (Icon Player) ලෙස ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර මිල දී ගත් අතර, ශ්‍රී ලංකා විස්සයි20 නායක දසුන් ශානක චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ ප්‍රධාන සන්නාම ක්‍රීඩකයායි.

දසුන් සමඟින් භානුක රාජපක්ෂ සහ මහීෂ් තීක්ෂණ චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන අතර, මතීෂ පතිරණ පසුගියවර ක්‍රීඩා කළ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින්ම රඳවා ගැනීමට කටයුතු කර තිබිණි.

මොරිස්විල් කණ්ඩායම සමඟ නිව් යෝර්ක් ස්ට්රයිකර්ස් කණ්ඩායම ද මෙවර තරගාවලියට අලුත් එක් වන අතර, ඒ අනුව කණ්ඩායම් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ.

හයවැනි වරට සංවිධාන කරන මේ තරගාවලිය ලබන නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් මස 4 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතය.

More articles

Latest article