29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ හා සිසුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර

Must read

සමස්ත විශ්වවිද්‍යල පද්ධතියේ ආචාර්ය, මහාචාර්යවරු මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල යන සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම තම වගකීම බව රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.

විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක ශිෂ්‍ය සංගම් විසින් ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරබලය, පාතාල ක්‍රියාකාරිත්වය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය ඇමැතිවරයා හෙළි කළේය.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පළමු වසර සිසුන්ට ඔරලෝසුවක් අත පැලඳීමට නොහැකි බවත් සිසුවියන් චීත්ත ගවුම ඇඳගෙන පැමිණිය යුතු බවත් නවක වදය අතින් සභාවෙහි සඳහන් කළ නොහැකි බොහෝ දේ ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය. නවක වදය අතින් බරපතළ තත්ත්වයක් විශ්වවිද්‍යාල පද්ධතියෙහි තිබෙන බවද හෙතෙම පැවසීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨ පීඨාධිපතිවරයා විසින් තමන්ට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් ‘ගෝඨා ගෙදර යැවූ අපට ඩීන් කජ්ජක්ද‘ යනුවෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

සාමය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, ජාතික ආරක්ෂාව නැති තැන වෙන කිසිවක් නොරැඳෙන බවද ඇමැතිවරයා පැවසීය.

විශ්වවිද්‍යාල පද්ධතියෙහි ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා මතු කරන ලද කරුණකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,

ජාතික පුවත්පත් සියල්ලම පාහේ අද මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා. මේ පීඨාධිපතිවරයා පැමිණිල්ලක් කර තිබෙනවා, ‘ගෝඨා ගෙදර යැවූ අපට ඩීන් කජ්ජක්ද‘ කියලා. මේක බරපතළ තත්ත්වයක්. විපක්ෂ නායකවරයාත් මහපොළොවේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ඉල්ලා සිටිනවා. හැබැයි ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල තුළ ගෙනියන්නේ ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරකම. පාතාලය. විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවකුට ඔරලෝසුවක් අතේ දාගෙන එන්න බැහැ. ඔරලෝසුව අතේ දාගෙන ආවොත් කකුලේ බඳිනවා. සිසුවියන් චීත්ත ගවුම් අඳින්න ඕන. කරාබුවක්, මාලයක් දාන්න බැහැ. මෙතන කියන්න පුළුවන් දේවල් තිබෙන්නේ ඔච්චරයි. නවක වදය අතින් ඊට එහා ගිය බරපතළ තත්ත්වයක් විශ්වවිද්‍යාල තුළ තිබෙන්නෙ. ශ්‍රී ලාංකීය සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්ය, මහාචාර්යවරු වගේම විශ්වවිද්‍යාල සිසු සිසුවියන්, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ආරක්ෂාව අප වෙත පැවරී තිබෙනවා. විපක්ෂ නායකතුමනි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන විවිධ නිර්වචන තිබිය හැකියි. ඔබතුමා හිතනවා ඇති ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පෙළපාළි ගිහින් ගිනි තියලා, තළලා පොඩි කරලා උසාවියට ගියාම අත්පුඩි ගහලා එක පැය 24න් ඇප දෙන එක කියලා. සාමය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආදිපත්‍ය, ජාතික ආරක්ෂාව නැති තැන වෙන කිසිම දෙයක් රැඳෙන්නේ නැහැ. ඒ පිළිබඳ අපි මේ ගරු සභාව දැනුම්වත් කරනවා.

More articles

Latest article