33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

19න් පහළ පළමු කොටස ටියර් ඒ ශූරයන් පරදවා ගාල්ල රිච්මන්ඩ් අවසන් පූර්ව වටයට

Must read

මල්ෂ තරුපතිගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරන අවුරුදු 19න් පහළ පළමු කොටසේ ටියර් ඒ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පසුගියවර අනුශූරයන් වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ඊයේ (20) සමත් විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී රිච්මන්ඩ් පිල හමුවේ පසුගිය වසරේ තරගාවලියේ ශූරයන් වූ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 86කින් පරාජය විය. මෙවර සහභාගිවූ තරග 8ම ජය ගෙන තරගවාරයේ එකම අපරාජිත කණ්ඩායම ලෙස රිච්මන්ඩ් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම කැපී පෙනිණි.

රිච්මන්ඩ් ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මල්ෂ තරුපති තුන් ඉරියව් දස්කම් දක්වමින් වැඩි දායකත්වයක් දැක්වීය. පන්දු යවමින් ලකුණු 25කට කඩුලු 5ක් දවාගත් මල්ෂ තරුපති පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 56ක් රැස් කළේය. රිච්මන්ඩ් පිලේ නායක තරින්ද නිර්මාල් සහ ජනෙත් කෞශාල් පිත්තෙන් දස්කම් දැක්වූහ.

අවසන් පූර්ව වටයේදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමඟින් තරග වදිනු ඇත.

රිච්මන්ඩ් – 271/9 (ඕවර 50) තරින්ද නිර්මාල් 65,මල්ෂ තරුපති 56, ජනෙත් කෞශාල් 51, කවිඳු නිර්මාණ 37, හේලිත් එදිරිසිංහ 35 (මුදිත ලක්ෂාන් 53/3, ගගන් චමෝද් 61/3)

සා. ජෝසප් – 185 (ඕවර 40.3) හිරාන් ජයසුන්දර 77, රිෂ්ම අමරසිංහ 54 (මල්ෂ තරුපති 25/5)

More articles

Latest article