34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

සිරිධම්ම හිමිට ඇප

Must read

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී සිරිධම්ම හිමියන් අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත මහත්මිය හමුවට පමුණුවනු ලැබුවාය.

එහිදී ත්‍රස්ත මර්දන කොට්ඨාශය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂවීන්ද්‍ර වික්‍රම සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (2) වගන්තිය යටතේ අදාළ සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නීතිපතිවරයා එකඟතාවය පළ කරන බව දන්වා සිටියේය.

ඒ අනුව සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම හිමියන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරු දින ත්‍රස්ත මර්දන කාර්යාංශයට වාර්තා කළ යුතු බවටත් තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.

එම නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සැකකාර සිරිධම්ම හිමියන්ට ඇප කොන්දේසියක් පැනවූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම නඩු කටයුත්ත පැවැත්වෙන කාලසීමාව තුළ ප්‍රචණ්ඩ කටයුතුවල යෙදීමෙන් වැළකී යුතු බවත් එසේ කළ බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කරන බවත් නියෝගයේ සඳහන් කළාය.

ඉකුත් මාර්තු මස 31 වන දා සිට ජුලි මස 13 වන දා දක්වා කාල සීමාව තුළ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියේ තවත් සැකකරුවකු ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද නම් කර සිටින අතර ඔහු මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ අනුව මෙම පැමිණිල්ල ලබන 12 වන දා යළි කැඳවීමට නියමිතය.

More articles

Latest article